සෑම අංශයකටම වැදගත් වන පැහැදිලි වැඩසටහනක් තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ - ජනපති අපේක්ෂක ගෝඨාභය කියයි


79 Views

කෘෂිකර්මය, සංචාරක ඇතුළු රටේ සෑම අංශයකටම වැදගත් වන පැහැදිලි වැඩසටහනක් තම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ කුරුණෑගල - සත්‍යවාදී පිටියේ ඊයේ පැවති දිස්ත්‍රික් ජන රැළියට එක්වෙමින්.

ඊට සහභාගිවීම සඳහා ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ කුරුණෑගල - වැහැර ක්‍රීඩාංගණයට ගුවනින් පැමිණියා.

එම ස්ථානයට ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටි අතර ඔවුන් සමඟ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සුහද කතාබහක නිරත වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

පසුව ඔහු සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කුරුණෑගල වැව රවුමේදී රුක්රෝපණ වැඩසටහනකටද එක්වුණා.

පරිසර හිතකාමී කාබන් නිශ්ක්‍රීය ජනාධිපතිවරණ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ අරමුණින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ රැළිවලට සමගාමීව ‘‘රටේ පැළවෙන නිදහසේ හුස්ම නමින් මෙම රුක් රෝපණ ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

ඒ හරහා සමස්ත දිවයිනම ආවරණ වන පරිදි පැළ 30,000ක් සිටුවීමට සැලසුම් කර තිබෙනවා.

Make a Comment
Make a Comment