මැතිවරණ කොමිසම අදත් සමෘද්ධි සහ නිවාස සංවර්ධන අධිකාරිවලට


83 Views

සමෘද්ධි අධිකාරිය තුළ හිමිකම්පත් පිළියෙල කරමින් සිටීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව වැඩිදුර විමර්ශන සඳහා මැතිවරණ කොමිසම් සභාවේ නිලධාරීන් අද දිනයේදීත් එම අධිකාරිය වෙත යාමට නියමිතයි.

පෙරේදා දිනයේදී එම ස්ථානයට පැමිණි මැතිවරණ කොමිසමේ නිලධාරීන් අදාළ හිමිකම් පත්‍ර ලබාදීම තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති අතර, එහි ඉදිරි විමර්ශන කටයුතු සඳහායි මෙලෙස සමෘද්ධි අධිකාරිය වෙත පැමිණෙන්නේ.

මැතිවරණ කොමිසමේ නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන විටත් හිමිකම් පත්‍ර ලක්ෂ 08 කට ආසන්න සංඛ්‍යාවක් සූදානම් කරමින් තිබී ඇති අතර, එම ස්ථානයේ විෂය භාර අමාත්‍ය දයා ගමගේ සහ සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයාද සිට ඇති බවයි වාර්තා වන්නේ.

සමෘද්ධි හිමිකම් සඳහා තෝරාගෙන ඇති බවත්, ජනාධිපතිවරණය අවසන් වීමෙන් අනතුරුව ඊට අදාළ දීමනා ලබාදීමට කටයුතු කරන බවත් අදාළ හිමිකම් පත්‍රවල සටහන්ව තිබෙනවා.

මේ අතර, මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අද යලිත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට යෑමටද නියමිතයි.

ඒ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් එම ආයතනයට අයත් වාහන අවභාවිතා කරන බවට මැතිවරණ කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකරන පරීක්ෂණයකට අදාළවයි.

මැතිවරණ කොමිසමේ නිලධාරින් සහ පොලීසිය එක්ව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දෙවන මහලේ පිහිටි මානව සම්පත් සංවර්ධන අංශය විශේෂ පරීක්ෂාවකට ලක් කළේ පසුගිය 16 වනදායි.

ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදී මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට ගොස් තිබූ අතර, වාහන අවභාවිතයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත නිවාස සංවර්ධන අධිකාරියේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියට නිලධාරීන් ගොස් තිබුණේ සෙනසුරාදා දිනයේයි.

Make a Comment
Make a Comment

  Related News