නවරාත්‍රී උත්සවය නිමිත්තෙන් මූල්‍යාධාර පිරිනැමීම


181 Views

නවරාත්‍රි උත්සවය නිමිත්තෙන් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ පිහිටි හින්දු දේවස්ථාන 57 ක් සඳහා රුපියල් 50,000 ක මූල්‍යාධාර පිරිනැමීම ගරු නගරාධිපතිනී රෝසී සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (26) කොළඹ මහ නගර සභා මන්ත්‍රී ශාලාවේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ නගරාධිපතිනිය,

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුල පවත්වාගෙන යනු ලබන බෞද්ධ, කතෝලික, මුස්ලිම් සහ හින්දු ආගමික සිද්ධස්ථාන සඳහා වාර්ෂික ආධාර ලබා දීමේ වැඩසටහන හිටපු නගරාධිපති කරු ජයසූරිය සහතාගේ සංකල්පයක් මත ආරම්භ වූවක්.එතුමා ආරම්භ කළ මෙම සත් ව්‍යාපාරය පෙර සිටි නගරාධීපතිවරුන් මෙන් ඉදිරියටත් මා නොපිරිහෙලා ඉටු කරනවා.

අද දින ලබා දුන් රුපියල් 50, 000ක අරමුදලින් හින්දු දේවස්ථාන වල වහලවල් අලුත්වැඩියා කර ගැනීමට,එම ස්ථාන වල පවත්නා ජලය,විදුලිය ප්‍රශ්නයන් සඳහා විසදුම් ලබා ගැනීමට,ප්‍රධාන පොදු පහසුකම් වැඩි දියුණු කර ගැනීමට,කැඩී බිදී ගිය ස්ථානයන් අලුත්වැඩියා කර ගැනිමට,ඒවායේ ගොඩනැගිලි වර්ණාලේප ගැන්වීමටත් හැකියාවක් ලැබෙනවා.සිද්ධස්ථාන වලට ආධාර ලබා දීම එදා ඉතා සුළුවෙන් ආරම්භ කළත් අද වන විට එය කොළඹ මහ නගර සභාවේ පුළුල් කටයුත්තක් ලෙස සිදු වන බව ආගමික සිද්ධස්ථාන වල ප්‍රධානින් බොහෝ හොදින් දන්නා කරුණක්.ඒ වගේම ඒ සෑම සිද්ධස්ථානයක්ම කොළඹ මහ නගර සභාවේ මහජන ආධාර දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී තිබෙනවා.

පසුගිය සමයේ පැවති වැසි ආපදා තත්වයන් හමුවේද නගර සභාව දිවා රාත්‍රි වැඩකටයුතු කරමින් ගංවතුරෙන් පීඩාවට පත් වී සිටින ජනතාවට පිසූ ආහාර ලබා දීමටත් කටයුතු කිරීම පිළිබඳව මාගේ කෘතඥතාවය පල කර සිටිනවා.

අද දින එක්සත් ජාතීක පක්ෂයේ අපේක්ෂකයා ලෙස රටේ ජනතාව හඩ නගා ඉල්ලපු නායකයා අද දින පත් වෙලා තියෙනවා.එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට පිළිබඳව අගමැතිතුමා ගත් තීරණය පිළිබඳව මා ඉතාමත් සතුටට පත් වෙනවා.

සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගේම රට පුරා විශාල වැඩ කොටසක් ජනතාව වෙනුවෙන් දියත් කරමින්, ඒ අයගේ සුව දුක් සොයා බලමින් ගම් උදාව වැඩසටහන යටතේ නිවාස වැඩපිළිවලක් අරම්භ කරමින් රටේ සංවර්ධනය උදෙසා කැප වී වැඩ කරන නායකයෙක්.එතුමා සෑම විටම ජනතාවගේ අවශ්‍යතාවයන් මත කටයුතු කරන විනයානූකූල පුද්ගයෙක්.ඔහු ප්‍රතිපත්තිගරුක පුද්ගලයෙක් ලෙස සිංහල,දෙමළ,මුස්ලිම්,බර්ගර් යන ජනතාව සමඟ ආගමික සංහිඳියාවෙන් කටයුතු කරන එතුමාගේ පියාණන් ලෙසින් ජනතාවගේ හදවත් දිනාගත් නායකයෙක් ලෙසයි මා ඔහුව දකින්නේ.අප රටේ නව ජනාධිපතිතුමා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් වනු දැකීම මාගේ විශ්වාසයක්,ඒ සඳහා මාගේ සුභාශිංෂනද එතුමන් වෙත එක් කරනවා.

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය නගරාධිපති එම්.ටී.එම්.ඉක්බාල් මහතා, ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක යූ.එල්.ටයිටස් පෙරේරා මහතා, නාගරික මන්ත්‍රීවරුන් මන්ත්‍රිවරියන් ඇතුළු පිරිස සහභාගී විය.

Make a Comment
Make a Comment

  Related News