කොච්චර ලස්සන වුණත් වැඩක් වෙන් නෑ හැදියාවක් නැත්නම්


114 Views

සුන්දර සිනහවත්, නෙත් වශී කරවන පෙනුමත් ඇයට ලැබුණු දායාදයක් බඳුය?

රුක්ෂානා දිසානායක නම් වන ඇයව සොයා අපි ගියෙමු. නිරූපණ ශිල්පිනියක් ලෙසින් ක්ෂේත්‍රයට පැමිණි ඇය අද වන විට රංගන ශිල්පිනියක් ලෙසින් ද ක්ෂේත්‍රයෙහි ශිල්ප දක්වන්නේ අපූරුවටය.

ලස්සන ඔබෙන් මම අහන පළමු වන ප්‍රශ්නය තමයි ලස්සන කාන්තාවකට කොච්චර වැදගත් ද කියන එක?

වර්තමානයේ නම් කාන්තාවකට ලස්සන ගොඩක් වැදගත්. ඇත්තටම ලස්සන තියෙනවා කියන්නේ අපේ හිතටත් ලොකු ආත්ම ශක්තියක්. ඒ වාගේම අභිමානයක්. මොකද සෑම කාන්තාවක්ම කැමතියිනේ කැපී පෙනෙන්න.

 සෑම කාන්තාවක්ම ලස්සනට සිටිය යුතුයි කියා ඔබ විශ්වාස කරනවාද?

ඔව්. සෑම කාන්තාවකගේම කුමන හෝ ලස්සනක් තියෙනවා. ඇතැමෙක් බැලූ බැල්මට ලස්සනයි. ඇතැම් අයගේ ඇස් ලස්සනයි. සමහර අයට අලංකාර කොණ්ඩයක් තියෙනවා. තව කෙනකුගේ ඇඟ ලස්සනයි. ඔය වගේ ලස්සන දේවල්  ඕනෑම කෙනෙකුට තියෙනවා. පළමුව අපි අපට ලැබුණ ලස්සන දේවල් අඳුර ගන්න  ඕනේ. ඒවා වැඩි දියුණු කර ගන්න උත්සාහ ගන්න  ඕනේ. මගේ පෞද්ගලික මතය නම් අපි මැරෙනකම්ම ලස්සනට ඉන්න  ඕනේ වයස් භේදයකින් තොරව. සෑම දිනකම ප්‍රියමනාපව සිටිය යුතුයි.

 ලස්සනට ඉන්න ඔබ මොනවාද කරන්නේ?

මම සෑම දිනකම ලස්සනට ඉන්න උත්සාහ කරනවා. වතුර ලීටර් දෙකක්, දෙකහමාරක් විතර දවසට බොන එක මගේ පුරුද්දක්. පුළුවන් හැම වේලාවේම කෘතීම රසායන නොයෙැදු එළවළු පළතුරු හැකි තරම් ආහාරයට එක් කර ගන්න උත්සාහ කරනවා. ඒ වාගේම ගෙදර ඉන්නවා නම් අනිවාර්යයෙන්ම පළතුරු ජූස් වර්ග දෙකක් විතර බොනවා. නාරං, ගස්ලබු, අලිගැට පේර, වැනි පළතුරුවලට මම ගොඩක් කැමතියි. නිවාඩුවක් ලැබුණු වෙලාවට කඩල පිටිවලට, සුඳු හඳුන් කහ වෙනිවැල්ගැට දාලා හදා ගන්නා පැක් එකක් මුණට දාලා පැය බාගයක් විතර ඉඳලා හෝදනවා. මෙම ස්වභාවික ප්‍රතිකර්මයෙන් මුහුණට නැවුම් බවක් ලැබෙනවා. ගෙදර ඉන්න දවසට තැඹිලි තෙල් හිසේ ගල්වලා පැය එකක් හෝ දෙකක් ඉඳලා ෂැම්පු කරලා හෝදනවා.

ම්. තව මාසයකට සැරයක් විතර මුහුණ පිරිසිදු කර ගන්න ක්ලීනප් එකක් කරනවා?

අත්වල පාදවල පිරිසිදු කිරීම් වලටත් මනා පෙනුමටත් මෙනි කිව්, පෙටි කිව් කරනවා. මේ හැමදේම කරන ගමන් සිතුවිලිත් ලස්සනට තියා ගන්න ගොඩක් උත්සාහ කරනවා.

 බොහෝ යුවතියන් කැමැතියි සුදු වෙන්න. ඔබටත් එවැනි අසාවක් තිබෙනවා ද?

පෞද්ගලිකව මමත් ආසයි සුදු වෙන්න. නමුත් කෘත්‍රීම දේවල්වලට ක්ෂණිකව සම පැහැපත් කරන දේවල්වලට නම් මම බයයි. හරිම දෙයක් තෝරා ගෙන සුදු උණාට කමක් නැහැ කියලයි මගේ නම් අදහස.
 කෙනෙකුට ලස්සනක් ලැබෙන්නේ ?

ඒකට නම් පෙර ආත්මවල කරපු කර්මය සහ කර්ම ඵලය බලපානවා. හැමෝම ලස්සන නැහැනේ. ලස්සන නිසා ආකර්ෂණයක්, පිළිගැනීමක් ලැබෙන්නේ සීමිත පිරිසකටනේ. ඒ නිසා මම හිතනවා ලස්සන වෙන්න අනිවාර්යයෙන්ම පෙර පිනක් තියෙන්න  ඕනේ.

 
ලස්සන වු පමණින් කෙනෙකුට ජීවිතය ජය ගත හැකිද?

ලස්සන නිසාම කවදාවත් කාටවත් මොකුත් ලබා ගන්න බැහැ. උදාහරණයක් විදිහට හිතන්න රංගන ක්ෂේත්‍රය. කෙනෙකුට ලස්සන නිසා ක්ෂේත්‍රයට අවතීර්ණය විය හැකි වුණත් ඉදිරියට යාමට නම් දක්ෂතාවය, හැකියාව වාගේම බුද්ධිමත් බවත් තිබිය යුතුමයි.

 
විවාහ ජීවිතයත් සාර්ථක වෙනවා ද බිරිඳක් ලස්සන වූ පමණින්?

මෙහෙමයි. ලස්සන බිරිඳක් ලැබීම ස්වාමියාට වටිනාකමක් එකතු වෙන දෙයක්. ගැහැණු හෝ වේවා පිරිමි හෝ වේවා අපගේ  ඕනෑම කෙනෙකු පළමු ඇස ගැටෙන්නේ කෙනෙකුගේ බාහිරෙන් ඇති ආකර්ෂණයට. ඊට පසුවයි කතා බහ කිරීමෙන් සිතුවිලි වලින් අඳුනා ගනු ලබන්නේ. කෙනෙක් බාහිරෙන් ලස්සන වෙනවාට වඩා ඇත්තටම සිතුවිලිවලින් ලස්සන නම් විවාහය පමණක් නොවේ. සාමාන්‍ය ජීවිතයත් ඉතාම හොඳින් පවත්වාගෙන යන්න පුළුවන්.

ඔබ වඩාත්ම ලස්සනට සැරසුණු දිනය මතක ද?

නිරූපණ කටයුතු කිරීමේ දී මනාලියන් විදියට සැරසෙන සෑම දවසකම ගොඩක් අය ළඟට ඇවිත් කියනවා ඔයා හරිම ලස්සනයි කියලා.

 
ඔබ මේ ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව?

මම ගොඩක් ආසයි දීපිකා පදුකෝන්ට. ඒ වගේම මම මගේ අම්මාටත් ගොඩාක් ආසයි. මගේ අම්මා මටත් වඩා ගොඩාක් ලස්සනයි. ඒ ආරේ තමයි මටත් ලැබෙන්න ඇත්තේ.

 
කාන්තාවක් ලස්සන වූ පමණින් ඇයට වටිනාමක් ඇති වෙනවාද?

නැහැ. කාන්තාවක් විදිහට අංක එකට තිබිය යුත්තේ හැදියාව. අපි කොච්චර ලස්සන වුණත් වැඩක් වෙන් නෑ හැදියාවක් නැත්නම්. අදටත් අපේ සමාජයේ තියෙන්නේ ගැහැනිය කියන වචනය සම්මත වූ දේවල්. සෙල්ලක්කාරකම්, කටකාරකම්, දඟකාරකම් සීමා ඉක්මවා නොයවා, තමාගේ පෞරුෂයටත් හානියක් නොවෙන පරිදි ජීවත් වීමයි ඉතාම වැදගත්.

 
සිතුවිලි වලින් ලස්සන වෙන්න මොනවාද කළ යුත්තේ?

තරහා ගන්න එපා, වෛර කරන්න එපා. ඊර්ෂ්‍යා කරන්න එපා කියන දේවල් පෘතග්ජන අපිට කරන්න පුළුවන් දේවල් නොවේ. මොනව හරි වේලාවක අපි නොදන්නා වේලාවල්වල දී මේ සිතුවිලි මතුවෙන්න පුළුවන්. වැඩිය දේවල් කරන්න  ඕනේ නැහැ. යහපත් වචනයකින් කෙනෙකු ආමන්ත්‍රණය කරන එක, සුන්දර සිනහවකින් කෙනෙකුට සංග්‍රහ කරන්න පුළුවන් නම් එකත් ලොකු පිනක්. සිතුවිලි ලස්සන වෙන්න කළ හැකි පහසුම දෙයක්.

 
ඔබ විශ්වාස කරන විදිහට කෙනෙකුගේ සුන්දරත්වය නැති වෙන්න මොනවාද බලපාන්නේ?

පළමු වැනි දේ තමයි තමන් තමන්ගේ වටිනාකම් හඳුනා නොගැනීම. අපි හැම තිස්සේම පුරුදු වෙලා ඉන්නේ අපිට නැති දේවල් ගැන හූල්ල හූල්ලා ඉන්න. අපිට තියෙන දේවල් වලින් අපිට සතුටු වෙන්න පුළුවන් නම් ඒක අපි ලබන ලොකු ජයග්‍රහණයක්. ලොකුම සතුට.

 

අසුන්තා එදිරිසූරිය

Make a Comment
Make a Comment

  Related News