තාජුඩීන් ඝාතනයේ තොරතුරු වසන් කළැයි අනුර සේනානායකට අධිචෝදනා නඩු විභාගයටත් දින නියම කෙරේ


191 Views

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් හිටපු ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි හමුවේ අද අධි චෝදනා භාර දෙනු ලැබුවා.

මෙම නඩුව ඔක්තොම්බර් මස 23 වනදා සිට විභාගයට ගැනීමටයි විනිසුරුවරයා නියම කළේ.

අද දිනයේ අධිකරණය පෙනී සිටි හිටපු ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

වසීම් තාජුඩීන් ඝාතනයට අදාල තොරතුරු වසන් කිරීම සහ අසත්‍ය තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 198 වන වගන්තියට අනුව නීතිපතිවරයා මොහුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසළ මාර්ගයක මෝටර් රථයක් තුළ මියගොස් සිටියදී සොයාගනු ලැබුවේ 2012 වසරේ මැයි මස 17 වනදායි.

පසුව මෙම මරණය ඝාතනයක් බවට මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී හෙලි වුණා.

මෙම සිද්ධියේ තොරතුරු වසන් කළ බවට චෝදනා කරමින් හිටපු ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ එවකට නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා අත්අඩංගුවට ගැණුනු අතර වසරකට අධික කාලයක් මොවුන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටීමෙන් අනතුරුවයි ඇප නියම වූයේ.

Make a Comment
Make a Comment