ඇමරිකාවේදී ගෝඨාභයට එරෙහිව තවත් නඩු 10ක්


135 Views

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකාවේ අධිකරණයකට තවත් නඩු 10 ක් ඉදිරිපත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව කැලිෆෝනියා ප්‍රාන්තයේ මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයට ඊයේ දිනයේ මෙම නඩු ගොනුකරන ලද බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

නඩු ගොනුකළ පුද්ගලයින් අතරට දෙමළ ජාතිකයින් 8 දෙනෙකු සහ සිංහල ජාතිකයින් දෙදෙනෙකු අයත්.

කාන්තාවන් දෙදෙනෙකුද මේ අතර සිටින බවයි අදාළ වාර්තාවල දැක්වෙන්නේ.

ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටි සමයේ වද හිංසාවට ගොදුරු වූ බව පවසමින් වන්දි ඉල්ලා මෙම නඩුව පවරා තිබෙනවා.

අයි.ටී.ජේ.පී. හෙවත් සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය හා හවුස්ෆෙල්ඩ් ජාත්‍යන්තර නීතීඥ සමාගම මෙම නඩු ගොනුකර ඇති අතර, ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇමරිකානු පුරවැසියෙකු බැවින් ඇමරිකානු අධිකරණයක් හමුවේ එම නඩු ගොනුකර ඇති බවද සඳහන්.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පසුගිය අප්‍රේල් 29 වනදාද ඇමරිකානු අධිකරණයක් හමුවේ නඩුවක් ගොනු කෙරුණා.

මේ අතර සිංහලේ විමුක්ති පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම වැළැක්වීමේ අරමුණින් දෙමළ ඩයස් පෝරාව මෙවැනි ක්‍රියාමාර්ගවලට පෙළඹෙන බවයි.

Make a Comment
Make a Comment