ජනපති මෛත්‍රීපාල සිරිසේන, ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ යෝජනාවකට නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය


170 Views

ජනපති මෛත්‍රීපාල සිරිසේන, ඉදිරි ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ යෝජනාවකට නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, ජනාධිපති නිල නිවසේ ඊයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදියි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, ඊට ඒකමතිකව අනුමැතිය හිමිවූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර කියා සිටියේ.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරක්ෂාවන වැඩපිළිවෙලක් සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව මන්ත්‍රීවරයා සඳහන් කළා.

එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධීපති අපේක්ෂක ලෙසත්, මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය අපේක්ෂක ලෙසත් මැතිවරණ ව්‍යාපාරය සිදුකිරීමටද මෙහිදි සාකච්ඡා වී තිබෙනවා.

නව සන්ධානයක් ගොඩනැගීම සඳහා නිදහස් පක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා විධිමත්ව අධ්‍යයනය කිරීමට හත්දෙනෙකුගෙන් යුත් කමිටුවක්ද මධ්‍යම කාරක සභා රැස්වීමේදී පත් කෙරුණු බව නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කළා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වෙත පැමිණියා. ඒ එම මූලස්ථානයේ පැවති සර්ව රාත්‍රික පිරිත් දේශනයකට සහභාගිවීම සඳහායි.

එහිදි මන්ත්‍රීවරයාට එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීරගෙන් සහ නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වූ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

Make a Comment
Make a Comment