සන්නිවේදන උපකරණ තොගයක් සමඟ පිලිපීන කතක් ඇතුලූ තුන්දෙනෙකු කඩුවෙලදී අත්අඩංගුවට


95 Views

බලපත්‍ර නොමැතිව සන්නිවේදන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පිලිපීන ජාතික කාන්තාවක් සහ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු කඩුවෙල ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.

වැටලීමේදී  කඩුවෙල - වැලිවිට- ගල්හේන පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පිලිපීන ජාතික කාන්තාවගේ සහ ඇගේ ශ්‍රී ලාංකික සැමියාගේ වයස අවුරුදු 36 ක් වනවා.

ඊයේ පෙරවරුවේ අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරකට අනුව කඩුවෙල - කොරතොට ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද බලපත්‍ර නොමැති සන්නිවේදන මධ්‍යස්ථානය පොලිස් විශේෂ කාර්ය බලකාය වටලනු ලැබුවේ දහවල් 12.30ට පමණයි.

පසුව එහි සිටි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහු 40 හැවිරිදි කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම සැකකරු අඹුසැමි යුවළගේ රියදුරා ලෙස සේවය කර තිබෙනවා.  

වැටලීමේදී සොයාගත් භාණ්ඩ අතර සිම් කාඞ්පත් 1764 ක්, ජංගම දුරකථන 30 ක් සහ රවුටර් 7 ක්, යූ.පී.එස්. 7 ක් ඇතුලූ උපකරණ රැසක් පවතින බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය මීගමුව - ඒත්තුකාල ප්‍රදේශයේ දී සන්නිවේදන උපකරණ රැසක් සමඟ චීන ජාතිකයෙකු ඇතුලූ තුන්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුුවේ මේ මස 7 වනදායි.

ඔවුන් සතුව දත්ත සක්‍රිය කර තිබූ අයිෆෝන් 402 ක්, සිම්කාඞ්පත් 17,400 ක්, රවුටර් 60 ක් සහ අධි සන්නිවේදන උපකරණ සොයාගෙන තිබුණා.

Make a Comment
Make a Comment