හොරොව්පතාන ඕ.අයි.සී.ට අල්ලස් දුන් සැකකරුට ඇප - තව්හිද් ජමාත් කොළඹ නායකයා යළි රිමාන්ඩ්


186 Views

ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමඟ සබදතා පැවැත්වූ බවට අත්අඩංගුවට ගැණුනු පුද්ගලයෙකු නිදහස් කර ගැනීම සඳහා හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබා දීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි තරුණයා ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ, සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එහිදී සැකකාර තරුණයා රුපියල් 15,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 4 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ.

අත්අඩංගුවේ සිටින සැකකරුවෙකු නිදහස් කර ගැනීමට හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට රුපියල් දෙලක්ෂ 50,000ක අල්ලසක් ලබාදීමට තැත් කිරීමේදී මුක්කරවැව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ මැයි මස 08 වනදායි.

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඞ් ෆාරුක් මොහොමඞ් ෆවාස් ලබන මස 2 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබූ භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කර ඇති බවයි පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ.

වෘත්තියෙන් වායුසමීකරණ අලූත්වැඩියාකරන්නෙකු වූ මොහු, කෙසෙල්වත්ත ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය අප්‍රේල් මස 28 වනදායි.
    

Make a Comment
Make a Comment