ලොව පුරා ප්‍රදේශ රැසක උණුුසුම වැඩි වෙයි


136 Views

ලොව පුරා ප්‍රදේශ රැසක මේ දිනවල උණුසුම් කාලගුණයක් වාර්තා වන අතර කුවේටය සහ සෞදි අරාබිය පසුගිය සති අන්තයේ වාර්තා කළේ මිහිපිට ඉහළම උෂ්ණත්වයයි.

එහිදී කුවේටයෙන් සෙල්සියස් අංශක 52.2ක උෂ්ණත්වයක් වාර්තා වූ අතර, ඍජු හිරු රැස්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 63 කරා ළඟා වුණා.

සෞදි අරාබියේ අල් - මජා ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 55ක උෂ්ණත්වයක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ සෙල්සියස් අංශක 48 දක්වා ඉහළ ගිය උණුසුම් වා දහරා හේතුවෙන් පුද්ගලයන් 70 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වුණා.

මේ අතර, ශ්‍රී ලංකාවේ උතුර පළාතේ ද මේ දිනවල දැඩි වියළි කාලගුණයක් පවතිනවා.

ඒ හේතුවෙන් උතුර පළාතේ පුද්ගලයින් එක්ලක්ෂ 90,264 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඉන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙන්.

එමෙන්ම වව්නියාව දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් වැව් කිහිපයක මසුන් මිය යාමේ සිද්ධීන් වාර්තා වුණා.

වව්නියාව - මූනාමඩුව වැවේ මෙලෙස මසුන් මිය යාම හේතුවෙන් ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් ද පවතින බවයි වව්නියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කළේ.

වැව් ජලයේ උෂ්ණත්වය ඉහළ යාම හා ජලයේ ඔක්සිජන් ප්‍රතිශතය අඩු වීම හේතුවෙන් මෙලෙස මසුන් මිය යාමට හේතුවයි.

කෙසේ වෙතත්, මේ වන විට උතුර පළාතට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය ලබන සැප්තැම්බර් මාසය දක්වා පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.

Make a Comment
Make a Comment