කටාන සුනඛයා ඝාතනය කළ පුද්ගලයා අත්අඩංගුවට


253 Views

පොසොන් පොහෝ දිනයේදී කටාන - කඳවල සුබසාධක මාවතේ නිවසක ඇති දැඩි කළ සුනඛයෙකු පහර දී ඝාතනය කළ පුද්ගලයා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

මෙම සුනඛයා නිතර බුරන බව පවසමින් පෙරේදා පස්වරුවේ මෙලෙස ඝාතනය කර තිබුණේ ලයන් පොමනේරියන් වර්ගයට අයත් සුනඛයෙක්.

මෙම සත්ත්වයාගේ හිමිකාරිය සදහන් කළේ තම නිවසට යාබද නිවස හිමි පුද්ගලයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

මේ අතර, ගෘහස්ථ සුනඛයින් ඝාතනය කිරීම ඉහළ ගොස් ඇති බව සත්ත්ව සුබසාධන සංගම් පවසනවා.

පසුගිය ඔක්තෝම්බර් මස සිට මේ දක්වා එවැනි සිද්ධීන් 15ක් පමණ තමන් වෙත වාර්තා වී ඇති බවයි සත්ත්ව සුබසාධන ක්‍රියාකාරීනී ඉරාකි කොඩිතුවක්කු සඳහන් කළේ.

පසුගිය ජනවාරි මාසයේදී මීගමුව - පෙරියමුල්ල ප්‍රදේශයේ නිවසක ඇති කළ සුනඛයෙකු කූඩුවේ සිටියදීම ගිනි තබා ඝාතනය කර තිබූ අතර, ගම්පහ - වතුරගම - කන්දහේන ප්‍රදේශයෙන් ද ගැබ්බර සුනඛ ධේනුවක් භූමි තෙල් දමා ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වුණේ පසුගිය පෙබරවාරි මාසයේදියි.

Make a Comment
Make a Comment