
මොනදේ වුණත් මම නම් රට දාලා යන්නේ නෑ- මම එයා කරන කියන දේ දිහා ඈත සිට බලාගෙන ඉන්නවා
Tuesday, 04 June 2019 - 9:43

දිල්හානි කොහොමද වැඩ කටයුතු?
රටේ වාතාවරණය එක්ක ගෙදරට වෙලා ඉන්න එක තමයි කරන්නෙ. රංගන කටයුතු තාවකාලිකව කල්දමා තිබෙනවා. ඊට අමතරව එදිනෙදා තිබුණු වැඩ ඇණහිටලා. ඉතින් මේ ස්වභාවය යටතේ ගෙදරට වෙලා ඉන්නවා.
කලාකාරියක ලෙස රටට මේ සිදුවූ දේ ගැන ඔබට හැෙඟන්නෙ මොන විදියටද?
තනිකරම නොසැලකිල්ල, අතපසුවීම නිසා සිදුවූ දෙයක්. රට ගැන හිතනවාට වඩා පාලනය කරන අය පුටු ගැන හිතන්න ගිහින් රටම විඳවන තත්ත්වයක්.
කොහොමද ඔබගේ ජීවිතය?
මගේ ජීවිතය හැමදාම සරලව ගලාගෙන ගියේ. විශේෂ වූ කියන ජීවිතයකට වඩා එදා වගේම කලා ලොවේ වැඩ කටයුතුවලට දායකවූ ජීවිතයක්. එළැඹෙන ජුනි මාසයේදී අලූත් චිත්‍රපටයකට රඟපෑමට ගිවිස ගෙන සිටිනවා. ඒ දේවල් එක්ක ජීවිතය වයසට යමින් පවතිනවා.
කොහොමද පුතා, සැමියා එහෙම. එයාලගෙ වැඩ කටයුතු කොහොමද?
පුතා මේ දිනවල නිවාඩුවට ඇවිත් ලංකාවේ ඉන්නෙ. ප්‍රියංකරත් එයාගෙ වැඩ ටික කරගෙන ඉන්නවා.
පුතාගෙ සංගීත කටයුතුවලට ඔබ ලබාදෙන දායකත්වය මොන වගේද?
මගේ ප්‍රධාන අරමුණ පුතාගේ අධ්‍යාපන කටයුතු ගැනයි. ඒ අතරේ එයා සංගීත ක්ෂේත්රයේ ස්වාධීනව එයාගේ ගමනක් යාමට උත්සාහ ගන්නවා වගේ පෙනෙනවා. මේ කටයුතු එක්ක මම එයාගෙ ජීවිතයට අනවශ්‍ය විදියට මැදිහත්වන්නෙ නැහැ. තනියම දියුණුවෙන්න එපායැ. මම එයා කරන කියන දේ දිහා ඈත සිට බලාගෙන ඉන්නවා.
‘වැලි පවුරු’ චිත්‍රපටයේ දිල්හානි රඟපාන චරිතය දිහා පුද්ගලිකව බලන්නෙ කොහොමද?
පියුමි කියන්නෙ තමාගෙ දරුවන්ව අතිශයින්ම විශ්වාස කරන මවක්. ඒ නිසා ජීවිතය පවා ඇයගේ අහිමි වෙනවා. එක්තරා විදියක මහා මෝඩ මවක්.
මේ චරිතය ඔබ විග්රහ කරන්නෙ මොන විදියටද?
සැබෑ සමාජයේදී මේ වගේ චරිත සිටින්න පුළුවනි. හැබැයි පියුමිගෙ චරිතය හරි කියලා මම කියන්නෙ නැහැ. මවක් යනු ඕනෑම දෙයක් කළ හැකි චරිතයක් විදියටයි අපි දකින්නෙ. සමාජයේ අපි අහලා තියෙන්නෙ ඒ විදියටයි. හැබැයි සියල්ල වෙනස් වන සමාජයක මව්පියන් දැන ගන්න ඕනෑ අනාගතයේ තමන්ගේ ජීවිතය සඳහාත් යමක් ඉතිරි කරගන්න. අනෙක් අය පෝෂණය කරද්දී තමන්ටත් එහෙම නොවුණොත් සිදුවන දේ සමාජයේදී අපි කොතෙකුත් අහලා තියෙනවා. සමහර මව්පියන්ට ඉන්න තැනවත් නැතිව යනවා. ඒක හරි සානුකම්පිත දෙයක්. ඒ නිසා මේ චරිතය නම් ඇත්තටම සියල්ල දන් දුන් ඒ නිසාම ජීවිතයත් නැති කරගත් මවක්.
සැබෑ ජීවිතයේදී ඔබ මොන විදියෙ මවක්ද?
මම ටිකක් දුර දිග බලලා වැඩ කරන මවක්. විශේෂයෙන්ම ළමයින්ගේ කටයුතුවලදී බොහෝ දුර බලන කෙනෙක්. බුද්ධිමත්ව අපට ඒක කරන්න වෙනවා.
ඒ අනුව මේ වැලි පවුරු චරිතය අදට ගැළපෙනවාය කියලා හිතනවාද?
මේ වගේ චරිත අජාසත්ත කාලයේ සිටම පවතිනවා. ඒක හෙටත් තියේවි. ඒත් ගඟට මුහුදට තමුන්ගෙ දරුවන් විසිකරලා දාන මව්වරු අතරේ, තම දරුවන් දාලා යන මව්වරු අතරේ මේ වැලි පවුරු චරිතයේ මව කියන්නේ අතිශය අහිංසක චරිතයක්.
කොහොමද අද මේ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර?
නැරඹූ ප්‍රේක්ෂකයින් සිනමා ශාලාවෙන් එළියට එන්නෙ හැඟුම්බරව. ඒ අම්මට වෙච්ච දේ ගැන හිතලා. අවාසනාවකට අද රටේ පවතින තත්ත්වය නිසා ප්‍රේක්ෂකයා ශාලාවලට ඒමට බියක් දක්වනවා. සමාජයට ආදර්ශයක් ගෙන දෙන මේ නිර්මාණය අද දුවා ගන්න බැරි නිසා අධ්‍යක්ෂක සහ නිෂ්පාදක අපහසුතාවයකට පත්වෙලා. ඒක හරි අපරාධයක්. මේ චිත්‍රපටයට අපි දායක වුණේ මීට වසර එකහමාරකට විතර පෙරදියි. රඟපෑමේදී අධ්‍යක්ෂක හෝ නිෂ්පාදක අපට අනවශ්‍ය විදියට බාධා කළේ නැහැ. අනවශ්‍ය විදියට මැදිහත් වුණේ නැහැ.
මෙවැනි වාතාවරණයක් යටතේ අද රට පත්වී ඇති තත්ත්වය හමුවේ කලාකරුවන්ගේ භූමිකාව කෙසේ විය යුතුය කියලද හිතන්නේ?
මොන දේ වෙන්නටත් පෙර රට ස්ථාවර වෙන්න එපායැ. අද මේ නිසා සමස්තයක්වූ බොහෝ කලාකරුවෝ ඉමහත් පීඩනයකට පත්ව සිටින මොහොතක්. බොහෝ කලාකරුවන් කටයුතු කරන්නේ එදිනෙදා වැටුපකට. ඔවුන්ට වාහනයේ ලීසිං, ඒ වගේම අනෙකුත් ගෙවීම් කරගන්න බැරිව ලොකු ප්‍රශ්නවලට මැදිවෙලා. ඒ කෙසේ වෙතත් ඒ සියල්ලට පෙර ජීවත් වෙන්න රටක් තියෙන්න ඕනෑ. අද ජීවිත ගෙවී යන්නෙ අස්ථිර ස්වභාවයකින්. සම්පූර්ණයෙන් මුළු රටම දේශපාලන න්‍යාය පත්රයකට යටත් වෙලා. අපි එක රුපියලකටවත් මේ රට පාවා දීලා නැහැ. රටක් හරියට කරන්න කියලා ආපු අයත් රටට මෙහෙම කරද්දී, වැරදි මාර්ගයේ යද්දි අපි කාටද කියන්නෙ? කිසිම කෙනෙක් දැන් නම් අපට විශ්වාස කරන්න බැහැ.
බොහෝ කලාකරුවන් රට දාලා යන්න හදන ආරංචිත් එනවා?
මම වුණත් පිටරටක ජීවත් වෙන්න කැමති වුණේ නැහැ. ඒත් දැන් මේ තියන අවිනිශ්චිත තත්ත්වය එක්ක දරුවට හරි අනාගතය හදලා දෙන්න ඕනෑ. හැබැයි මොන දේ වුණත් මම නම් මේ රට දාලා යන්නෙ නැහැ.
හෙට දවස යහපත් වේවි කියලා හිතනවාද?
ඒ ගැන අද මට විශ්වාසයක් නැහැ. ආදරයෙන් අපි ඔක්කොමලා එකට ඉන්න ඕනෑය කියන හැඟීම අපට තිබුණා. ඒත් අනෙක් අය ගාව ඒක නැත්නම්, කොහොමද විශ්වාසයක් තබන්නෙ. ඒ නිසා වෙනදාට වඩා රට ජාතිය ගැන හිතන්න වෙලා.
සටහන - සඳුන් ගමගේ
Related News

බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් 77වන උපන්දිනය සමරයි
11 October 2019 - 10:57 am
/ Share
271 Views

නිව්යෝක් ගිය ප්‍රියංකා අන්තර්ජාලය උණුසුම් කරයි -[Photos]
08 October 2019 - 12:53 pm
/ Share
247 Views

ක්‍රිකට් ක්‍රීඩක අකිල සිය පුතුගේ පළමුවැනි උපන්දිනය සැමරූ හැටි - [Photos]
25 September 2019 - 10:59 am
/ Share
120 Views