ඇමති බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව, පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට


57 Views

අමාත්‍ය රිෂාද් බදියුදීන්ට එරෙහිව කතානායකවරයා වෙත භාරදුන් විශ්වාසභංග යෝජනාව මේ වනවිට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා. 

කෙසේ වෙතත්, ඒ සඳහා මෙතෙක් දිනයක් නියම කර නැහැ. මේ අතර, ඊට අදාළ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා ලබන අඟහරුවාදා පස්වරු 3 ට කතානායක කරූ ජයසූරිය විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් ද කැඳවා තිබෙනවා. 

විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයා වෙත භාර දී එය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර දින 5 ක් ගත වූ පසු ඊට අදාළ විවාදය සිදුකළ හැකි වීම පාර්ලිමේන්තු සම්ප්‍රදායයි. 

චෝදනා 10 කින් යුතු මෙම විශ්වාසභංග යෝජනාව, ඒකාබද්ධ විපක්ෂය විසින් පෙරේදා කතානායකවරයා වෙත භාර දෙනු ලැබුවා. 

ඊට මන්ත්‍රීවරුන් 64 දෙනෙකු අත්සන් තබා තිබූ අතර, තවත් දෙදෙනෙකු විදෙස් රටවල සිට ඊට කැමැත්ත පළ කර තිබුණා. 

පසුව, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් එය පාර්ලිමේන්තුවේ පිහිටි කතානායක කාර්යාලයේදී, කතානායක කරූ ජයසූරියට භාර දෙනු ලැබුවා.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයන්ට අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කරන ලෙස යුද හමුදාපතිවරයාට, බලපෑම් කළ බව හමුදාපතිවරයා විසින් ප්‍රකාශ කිරීම මෙන්ම, කොළඹ - සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්ෂාෆ් අහමඩ්ට අයත් වැල්ලම්පිටියේ තඹ කර්මාන්තශාලාවට වානිජ හා කර්මාන්ත අමාත්‍යාංශය මගින් සම්මත පටිපාටියෙන් බැහැරව හිස් පතොරම් කොපු සැපයීම, ඇතුළු චෝදනා 10 ක් ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ මෙම විශ්වාසභංගයට ඇතුළත්.

Make a Comment
Make a Comment