තංගල්ලේ කුඩාවැල්ල සිවු පුද්ගල ඝාතනයේ මහමොළකරු මදුෂ් - කංජිපානි ඉම්රාන් සියල්ල හෙළි කරයි - Video


308 Views

කුඩාවැල්ල ධීවර වරාය ලේ විලක් වූ දින බොහෝ දෙනෙකුට මතක ඇතුවාට සැකයක් නැහැ. ඒ.. පසුගිය නත්තල් දා උදෑසනයි. එදින උදේ හතත් හතහමාරත් අතර වේලාවේ ධීවර වරායට කඩා වැදුණු තුවක්කුකරුවන් දෙදෙනෙකු එල්ල කළ වෙඩි පහර වලින් පුද්ගලයින් 4 දෙනෙකු මිය ගොස් 10 දෙනෙකු පමණ තුවාල ලැබුවා.
 
මෙම වෙඩි තැබීමට සැකපිට කිහිප දෙනෙකු අත්අඩංගුවට පත් වුණා. යතුරුපැදිය පැදවූ මෙන්ම පිස්තෝලයෙන් වෙඩි තැබූ රෝහිත යන අයත්, ආධාර අනුබලය දුන් කිහිප දෙනෙකුත් අත්අඩංගුවට ගැනීමට හැකිවුණා. ප්‍රශ්න කිරීමේදී රෝහිත පවසා තිබුණේ සුපුන් යන අයගේ කීමට අනුව තමා මෙම වෙඩි තැබීම සිදු කළත්, කළණ මුදලාලිගේ පුතාලා මරන්නට වුවමනාව තිබුණේ කාටද යන්න තමන් නොදන්නා බවයි.
 
මේ ආකාරයෙන් කුඩාවැල්ල ධීවර වරායේ සිදුවූ සමූහ ඝාතනය කාගේ වුවමනාවට සිදුවුවාද යන්න මාස 4කට ආසන්න කාලයක් හෙළි නොවූ අබිරහසක් බවට පත්ව තිබුණා.

එහෙත්... ඒ... සමූහ ඝාතනයද මධූෂ්ගේ අවශ්‍යතාව මත සිදුවූ බව හෙළි වූයේ ඔහුගේ ළඟම හිතවතෙකු වූ කංජිපානී ඉම්රාන්ගෙන් ප්‍රශ්න කිරීමේදීයි.
 
වසර කිහිපයක් තිස්සේ මෙරට සිදුවූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මනුෂ්‍ය ඝාතන බොහෝමයක් මාකඳුරේ මධූෂ් මෙන්ම කංජිපානී ඉම්රාන්ගේ මෙහෙයවීම මත සිදුවූ ඒවා බව තහවුරු වී තිබුණා. මොවුන් මේ සියල්ල මෙහෙයවූයේ ඩුබායි රාජ්‍යයයේ සිටයි. එබැවින් මෙරට සිටින ගෝලබාලයින් ඇතුළට ගියද මොවුන් අල්ලා ගැනීම ලේසි පහසු වුණේ නැහැ.
 
අවසානයේ මේ අපරාධකරුවන් ඩුබායි පොලීසියට කොටු කරදීමට පොලිස් විශේෂ කාර්යය බලකායට හැකි වූයේ අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාලයේ මධූෂ්ට එරෙහිව නැගී සිටි ඇෆ්ගනිස්ථාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුවයි.
 
ඒ අනුව මධූෂ්, කංජිපානී ඉම්රාන් මෙන්ම අමල් පෙරේරා, රයන් වැනි කලාකරුවන්ද එදින ඩුබායි පොලීසියේ අත්අඩංගුවට පත් වුණා. ඩුබායි සිරගෙදර සිටියදී කංජිපානී ඉම්රාන් මෙරට ගෝලයෙකුට දුරකථන ඇමතුමක් ලබා දී තිබුණා.
 
ඔහු මෙරටට පිටුවහල් කර තිබුණේ පසුගිය 27 වැනිදායි. ඔවුන් 28 වැනිදා උදේ 6යි 15ට කටුනායකට ළඟා වූ ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබුණා.
 
ගුවන් තොටුපළ රහස් පොලීසිය කංජිපානී ඉම්රාන් අත්අඩංගුවට ගන්නේ සිංගප්පූරුවට පැන යාම සඳහා එම මගී පර්යන්තයේ රැඳී සිටියදීයි.
 
තව ටික වෙලාවක් ගත වූවා නම් කංජිපානී ඉම්රාන් යළි කිසි දිනෙක මෙරට පොලීසියට සොයා ගත නොහැකි වන අයුරින් අතුරුදහන් වනවා නිසැකයි.
 
ගුවන් තොටුපළ පොලීසිය මොහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී තිබුණා. කොළඹ අපරාධ කොට්ඨාසය මොහු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාස 3ක රැඳවුම් නියෝග ලබා ගත්තේ ආරක්ෂක ලේකම්වරායගේ ද මැදිහත් වීමෙනුයි.
 
සීසී.ඩී.යේ රඳවා සිටින කංජිපානීට දින 4ක් 5ක් ගතවනතුරුත් හැඳ සිටින ඇඳුම් මාරු කිරීම සඳහා වෙනත් ඇඳුම් පැළඳුම් ගෙනැවිත් දීමටවත් කිසිවෙකු ඉදිරිපත්ව තිබුණේ නැහැ. මොහු අධිකරණයෙන් එළියට එද්දි ඔහුගේ පියා පැමිණ සිටි අතර තමාට ඇඳුම් පැළඳුම් ඇතුලු අවශ්‍ය දේවල් රැගෙන එන ලෙස පියාගෙන් ඉල්ලීමක් කළද පියා එම ඉල්ලීම ඉටු කිරීම ප්‍රමාද කර තිබුණා.
 
ගෙවී ගිය වසර තුනක පමණ කාලයක් මෙරට භිෂණයක් ඇති කරමින් තරුණ පරපුර වැනසූ කංජිපානී ගැන සොයා බැලීමට එක්සත් ජාතින්ගේ සංවිධානය මෙන්ම මානව හිමිකම් කාර්යාලවල නිලධාරින් ද ඉදිරිපත්ව තිබීම හාස්‍යයට කරුණක්.
 
කුඩාවැල්ල ධීවර වරායේ ඝාතන මධූෂ්ගේ වුවමනාව මත සිදූ වූ බවට කංජිපානී හෙළි කර තිබුණේ ඉහත සංවිධානවල බලපෑම් මධ්‍යයේ සිදු කළ ප්‍රශ්නකිරීම්වලදීයි.
 
කංජිපානී පවසන පරිදි කුඩාවැල්ල ධීවර වරායේ වෙඩි තැබීම සිදුකරන්නේ එම ප්‍රදේශයේ කෝටිපති මාලු ව්‍යාපාරිකයකු වූ මහින්ද මුදලාලි නොහොත් කළණ මුදලාලිගේ පුත් කලණ බිංදු යන අය මරා දැමීම සඳහායි. මධූෂ්ට ඔහු සමඟ තිබූ කෝන්තරය වූයේ මධූෂ්ගේ ළඟම ගෝලයකු වූ හර්ෂ යසස් ශ්‍රී යන අය ඝාතනය කළ පිරිස අනතුරුව සැඟවී සිට ඇත්තේ කළණ බිංදු යන අයගේ රැකවරණය යටතේ වීමයි.
 
හර්ෂ යසස් යනු මාතර පදිංචි මධූෂ්ගේ ළඟම ගෝලයෙක්. එනම් මධූෂ්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම එවකට මෙරට සිට මෙහෙය වූ පුද්ගලයායි. ඩැනී හීන්කැටිය නම් වූ දකුණු පළාත් සභා සභික ඝාතනය සඳහා යතුරුපැදිය පැද තිබුණේ ද හර්ෂ ශ්‍රී විසිනුයි.
 
එම ඝාතනය පිළිබඳ එවකට විමර්ශන පැවැත්වූ කණ්ඩායම් එම යතුරු පැදිය සොයාගෙන තිබුණේ හර්ෂගේ නිවසේ ගෙවත්තේ වළ දමා තිබියදීයි.
 
මේ ඝාතනයෙන් අනතුරුව මධූෂ් මෙන්ම හර්ෂ ද අත්අඩංගුවට පත්වන අතර ඇප ලබා එළියට පැමිණිමෙන් අනතුරුව දෙදෙනා යළි සිය අනවසර ජාවාරම්වල නිරත වී තිබෙනවා. ඊට අමතරව කොල්ලකෑම්, මනුෂ්‍ය ඝාතන ඇතුලු අපරාධ කරමින් පොලිසි උසාවි මඟ හරිමින් කල් ගෙවන්න පටන් ගත්තා. පසුව මධූෂ් මෙන්ම හර්ෂ යළි අත්අඩංගුවට පත් වුණා.
 
2016 වර්ෂයේ පෙබරවාරි මස 26 වැනිදා හර්ෂට ඇප ලැබෙන්නේ අලුත්කඩේ අධිකරණයෙනුයි. ඒ ඔහු කොළඹ ප්‍රදේශයේ සිදුකළ අපරාධ කිහිපයකට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුවයි.
 
එවකට කඩුවෙල පුදේශයේ බලය පතුරුවාගෙන සිටි රණාලේ සමයං නම් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා සිටියේද හර්ෂ සිටි මැගසින් බන්ධනාගාරයේයි.
 
අංගොඩ ලොක්කා, ලඩියා ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලිය මධූෂ්ට හිතවත්ව සිටි අතර එම කල්ලියේ පරම හතුරු වූයේ රණාලේ සමයං ය. සිරගෙදර සිටියදී දිනක් හර්ෂ යසස් සමයං දණගස්සවා පහර දී තිබුණා. එදා සමයං සපථ කර තිබුණේ එළියට ගිය වහාම හර්ෂ මරා දමන බවයි.
 
පෙබරවාරි මස 26 වැනිදා එළියට එන හර්ෂ දින 6ක් ගත වෙන්නත් පෙර මරා දැමීමට රණාලේ සමයං කටයුතු කළේ එදා කී වචනය අකුරටම ඉටු කරමිනුයි.
 
හර්ෂට වෙඩි තබන්නේ ආමි අසිත විසිනුයි. යතුරුපැදිය පදින්නේ ඩී.මංජුයි. ඔත්තු බලන්නේ බත්තරමුල්ලේ සංජු යන අයයි. හර්ෂ ඝාතනය කරන්නේ රාජගිරිය ඔබේසේකරපුර මුඩුක්කු නිවෙසක දිවා ආහාරය ගනිමින් සිටියදීයි.
 
කාංචිපානි ඉම්රාන් පවසන පරිදි වෙඩි තබා හර්ෂ ඝාතනය කළ මේ කණ්ඩායම කෙළින්ම යන්නේ දික්වැල්ලටයි. මොවුන්ට මෙන්ම සමයංගේ අනියම් බිරියක වූ මාතර පදිංචි කාන්තාවද ඒ දින කිහිපයේ සැඟවී සිටින්නේ කළණ බිංදුගේ රැකවරණය ඇතිවයි. පසුව මොවුන් අත්අඩංගුවට පත්වුණා. මාස කිහිපයකට පසු ඇප මත නිදහස් වුණා.
 
ඩී.මංජු, ආමි අසිත ඇතුලු සමයංගේ ගෝලබාලයින් මෙන්ම කළණ බිංදු ඝාතනය කිරීමට මධූෂ් සැලසුම් කරන්නේ හර්ෂ යසස් ශ්‍රී ඝාතනයට ලෙයින් පළිගැනීමක් ලෙසටයි.
 
මේ පිරිස අතරින් ඩී. මංජු යන අය එස්.ටී.එෆ් බලකාය අතින් ඝාතනය වෙනවා. පසුගිය වර්ෂයේ පෙබරවාරි මස 18 වැනිදා ආමි අසිතට වෙඩි තබන්නේ මධූෂ්ගේ ගෝලයෙකු වන රිස්වාන් විසිනුයි. රිස්වාන් අසිතට වෙඩි තැබීමට ගිය නමුත් වෙඩි තැබීමෙන් අසිත මියයන්නේ නැහැ.
 
පසුව සි.සී.ඩී. යේ අත්අඩංගුවට පත්වන රිස්වාන් පවසා තිබුණේ කාංචිපානත්, මධූෂුත් තමාට පුද්ගලයකුට වෙඩි තබන ලෙස කීවත්, ඔහුගේ නම් ගම් නොකී බවත්, වෙඩි තබන්න ගොස් බලන විට ඒ අසිත බව හඳුනාගත් බවත්, අසිත තමාගේ හොඳම මිතුරෙකු බැවින් ඔහු මරා දමන්නට හිත නොදුන් බවත් ඔහු සඳහන් කර තිබුණා.
 
කළණ බිංදු ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව මධූෂ් විසින් ලබාදී තිබුණේ තංගල්ල පදිංචි ගෝලයෙකු වන සුපුන් නැමැත්තාටයි. ඔය අතරේ කළණ බිංදු සමඟ මධූෂ්ගේ සිතේ වූ වෛරය තවත් වැඩිවන සිදුවීමක් වුණා. ඒ දකුණු පළාතට කුඩු බෙදාහැරිය මධූෂ්ගේ ගෝලයෙකු වන රමේෂ් යන අය පොලීසියට කොටු වීමයි. ඔහු පොලීසියට කොටු වූයේ කලණ බිංදු ලබා දුන් ඔත්තුවකින් බවට මධූෂ් විශ්වාස කළා.
 
ඒ අනුව කළණ බිංදු හැකි ඉක්මනින් මරා දැමීමේ අවශ්‍යතාවය මධූෂ්ට ඇති වී තිබුණා. කුඩාවැල්ල ධීවර වරායේ මත්ස්‍ය ව්‍යාපාරයේ අංක එකේ ව්‍යාපාරිකයා වන්නේ කළණ මුදලාලියි. ඊට අමතරව අලගොඩු රුවන්, අලගොඩු ජයන්ත හරිබඩු චමල් හා ඔහුගේ මස්සිනා ද ධනවත් මත්ස්‍ය ව්‍යාපාරිකයින් වුණා.
 
ඊට අමතරව මේ දෙමස්සිනෝ ප්‍රදේශයේ චණ්ඩින් වන්නට උත්සහ කරමින් සිටි බව කාගෙත් මතය වුණා. පොඩ්ඩ එහා මෙහා වෙද්දි ගමේ අහිංසක තරුණයන් දණ ගස්සවා පහරදී ඔවුන් බිය වද්දා යටත් කරගැනීම මොවුන්ගේ විනෝදාංශයක් බවට පත්ව තිබුණා.
 
කංජිපානී ඉම්රාන් පවසන පරිදි චමල් අනියම් ඇසුරක පැටලී සිටියා. ඒ බව දැනගත් ගමේ කොල්ලන් කිහිප දෙනෙකු එයට ප්‍රචාරයක් ලබා දී තිබුණා.
 
මේ බව දැනගත් හරිබඩු චමල් තමාගේ පැටිකිරිය හෙළි කළ කොල්ලන් සොයා ඔවුන්ට දඬුවම් දෙන්නට පටන් ගත්තා. එම දඬුවම් අතර දණ ගස්සවා තැබීමද තිබුණා.
 
මේ දඬුවම් දීම හමුවේ දැඩි ලෙස කෝපයක් පත් වූ තරුණයින් චමල් ඝාතනයට සැලසුම් කළා. කඩු තුනක් ත්‍රීරෝද රථයකට දමා ගන්නා තරුණයන් තිදෙනෙක් චමල් මරන්නට යන අතර චමල්ගේ නංගිගේ සැමියා එනම් මස්සිනාට මේ බව දැනගන්නට ලැබෙනවා.
 
වහා ක්‍රියාත්මක වූ මස්සිනා ත්‍රීරෝද රථයේ නැගී චමල් හමුවීමට ගොස් මේ බව දන්වා සිටියා. අනතුරුව මේ දෙමස්සිනෝ චමල්ගේ යතුරු පැදියෙන් කොල්ලන් සොයා යන්නේ කඩු දෙකක්ද රැගෙනයි.
 
දෙපාර්ශවය එකට හමුවුණා. අමු තිත්ත කුණුහරපවලින් බහින්බස්වීම පටන් ගත්තා. ඒ අතර චමල්ගේ මස්සිනා තමා අත වූ කඩුව කොල්ලන් වෙත දමා ගැසුවා. එය බිම වැටුණු අතර එම කඩුව විරුද්ධ පාර්ශවයේ අයකු අහුලා ගත්තා. එවිට චමල් සිය කඩුව අමෝරාගෙන ඔහු පසුපස පන්නන්නට වූ අතර කඩුවද අතැතිව චමල්ට බියේ පලා යන්නට වුණා.
 
චමල්ගේ මස්සිනා නිරායුධව විරුද්ධ පාර්ශවික තරුණයන් දෙදෙනාට මැදිවුණා. ඔහු වටකරගත් තරුණයින් දෙදෙනා කඩුවලින් ඔහුට දිගට හරහට පහර දෙන්නට පටන් ගත්තා. ඔහුගේ අතක් කැපී වෙන් වෙද්දි අනිත් අත් පා වලටද බරපතල හානි සිදු වුණා. මේ අතර ආපසු හැරුණු හරිබඩු චමල් දෙසට දිව එන්නේ පසුපස පන්නාගෙන ගිය තරුණයා ඇසට නොපෙනෙන මානයකට පලා ගිය බැවිනුයි.
 
කඩුව අමෝරාගෙන චමල් එනු දුටු තරුණයින් දෙදෙනා පලා යන අතර තුවාල වූ මස්සිනා රෝහල්ගත කරනු ලබනවා.
 
පසුව තරුණයින් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගත වුණා. තුවාල ලැබූ මස්සිනාගේ තත්ත්වය බරපතල වුණා. ඔහු තවමත් ඇවිදිමට නොහැකි තත්ත්වයේ පසුවනවා.
 
මෙම තත්ත්වය උදාවීමට මුල් වූයේ චමල් ය යන චෝදනාව පවුල්වල සියල්ලන්ගෙන්ම චමල්ට එල්ල වන්නට වුණා. කල් ගතවෙද්දි මේ චෝදනාව චමල්ට හිසරදයක් බවට පත්වුණා.
 
මේ අතර ඇප ලබා එළියට එන තරුණයින් ඊළඟට ගමේ චණ්ඩින් බවට පත්ව තිබුණා. එලෙසම ඔවුන් කලණ මුදලාලිගේ බෝට්ටුවල සේවයේ නිරත වූවන් වූ අතර හිරගෙදර සිට පැමිණි නමුත් එවුන්ට කිසිම වෙනසක් නැතුව රැකියා ද ලැබී තිබුණා.
 
පවුගේ අයගෙන් එල්ල වන බලපෑම් හමුවේ මේ කොල්ලන් මරා දැමීමට චමල්ට අවශ්‍ය වුණා. මේ කොල්ලන් වැඩ කරන්නේ කළණ මුදලාලිගේ පුත් කළණ බිංදු ගේ ළඟ නිසාත්, බිංදුගේ හයිය ද මොවුන්ට ලැබී ඇතැයි සිතූ චමල්ට පසුව මේ සියල්ලන්ම මරවා දැමීමට වුවමනා වුණා.
 
මේ අතර හරිබඩු චමල් තමාට අයත් බෝට්ටුවක් විකුණා දැමීමට උත්සහ කරනවා. එය මිලදී ගන්නේ කසුන් නැමැත්තෙක්. ඉන් ලැබෙන මුදල් වලින් චමල් පිස්තෝලයක් මිලදී ගන්න සැලසුම් කරන අතර ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදෙන්නේ කසුන් විසිනුයි. චමල්, සුපුන් හමුවට කැඳවාගෙන යන්නෙද කසුන් විසිනුයි.
 
ඒ වනවිට කළණ බිංදු මරා දැමීමට මධූෂ්ට හදිසි වී තිබූ අතර චමිල්ගේ ඉල්ලීම වූයේද එයමයි. එබැවින්.... ඔහු රෝහිත යන අයද එක්කරගෙන කුඩාවැල්ල ධීවර වරායේ සමූහ ඝාතනය සිදුකර තිබුණා.
 
මේ... මෙරට සිදුවූ නිවැරදි ලෙස විසඳා ගැනීමට නොහැකි වූ එක් ආන්දෝලනාත්මක අපරාධයක තොරතුරු පමණයි. මීට අමතරව මාකඳුරේ මධූෂ් සහ කංජිපානී එක්ව සිදුකළ අපරාධ බොහෝමයක සත්‍ය තොරතුරු හෙළි කරගැනීමට ඉදිරියේදී සී.සී.ඩී.යට හැකිවනු ඇති.
 
-තක්ෂිලා ජයසේකර
 

Make a Comment
Make a Comment

  Related News