එයා හරිම ලැජ්ජාශීලීයි - නමුත් එයා හොඳ පුද්ගලයෙක් කියලා හඳුනා ගත්තා


15,653 Views

දුෂ්‍යන්ත් වීරමන් කිව්වම ඔහු ගැන දන්නේ කවුරු කියලද? ඔහු ගායකයෙක්. ඒ වගේම ඔහුට හොඳට නටන්නත් පුළුවන්. ඔහුව බොහෝ අය හඳුනන්නේ එහෙම. හැබැයි ඔහු හරියටම කොහොම කෙනෙක් වෙන්න ඇතිද? ඒ ගැන කියන්න තමයි දුෂ්‍යන්ත්ගේ බිරිය ස්ටෙෆ්නි සිරිවර්ධන හදගැස්මට එකතු වුණේ.

ඔබ සහ දුෂ්‍යන්ත්ගේ හමුවීම සිද්ධ වුණේ කොහොමද? 

අපි හමුවුණේ විශේෂ උත්සවයකදී. එයා ඒකෙදී සින්දු කිව්වා. පස්සේ ඉතින් අපි කතාබහ කළා.

මුණගැහෙනකොට ඔහු? 

එයා හරිම ලැජ්ජාශීලීයි. මම දුෂ්‍යන්ත් වීරමන් ගැන අහලා තිබුණට එයා ගැන වැඩිය දන්නෙ නැහැ. නමුත් එයා හොඳ පුද්ගලයෙක් කියලා හඳුනා ගත්තා.

පෙම්වතා කාලේ? 

එයා හැම දේ ගැනම හොඳට හිතන කෙනෙක්. අපි අවුරුදු තුනක් විතර ආශ්‍රය කළා. මම එයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ කාලය තුළත් අපි විවාහක යුවළක් වගේම ගොඩක් හොඳට අවබෝධයෙන් ආශ්‍රය කළා.

සැමියෙක් විදියට ඔහු? 

එයා හුඟක් උදවු කරනවා. හැම දෙයක්ම හොඳින් තේරුම් ගන්නවා. එයා හරිම අපූරු කෙනෙක්. එයාව සැමියෙක් විදියට ලබන්න මම ගොඩක් වාසනාවන්තයි. හැමදාම උදේට මම නැඟිට්ට ගමන් එයා මාව හිනස්සනවා. 

සාමාන්‍ය ජීවිතයේ ඔහු? 

වේදිකාවේ සින්දු කියන කෙනා නෙවෙයි. එයා හැබැහින් හරිම ලැජ්ජාශීලියි. එයා පෞද්ගලික ස්ථානවලදී මිනිස්සු එක්ක කතා කරන්නෙ නැත්තෙ ලැජ්ජා නිසා. එහෙම නැතිව එයාගෙ අහංකාරකමක් නිසා නොවෙයි. ඒ වගේම එයාගේ හිත හරිම ලස්සනයි.

දවසක් කූඹියෙක් මගේ කකුල කාලා හොඳටම ඉදිමිලා මට සතියක් විතර ඇවිදින්න බැරිවුණා. ඉතින් මම කිව්වා ඒ කූඹියා මැරුණා නම් හොඳයි කියලා. ඒත් ඔහු මට කිව්වා ඔයාගෙ කකුල වෙනුවෙන් මේ කූඹියා මුළු ජීවිතයෙන්ම වන්දි ගෙවන්න ඕනෙ නැහැ කියලා. ඔයාගෙ කකුල ඉක්මනින් සුව වෙයි කිව්වා. මට එහෙම හිතන්න එපා කිව්වා. කකුල වෙනුවෙන් ජීවිතයක් නැති කරන්න එපා කිව්වා. 

දුක හිතුණම ඔහු? 

ඒ වගේ වෙලාවට එයා තනියම ඉන්න කැමැතියි. මොකද ඒ ගැන හිතන්න ඕනෙ නිසා. මාත් ඉතින් ඒ වෙලාවට එයාට කරදර කරන්නේ නෑ.

ගොඩක් ලොකු සතුටක් දැනුණාම ඔහු? 

සින්දු කියනවා.

තරහ ගියාම? 

එයාට තරහ ගියොත් මම එයා එක්ක කතා කරන්න උත්සාහ කරනවා. 

ඔය දෙන්නගේ ගැළපීම කොයි වගේද? 

අපි දෙන්නම ඉන්නෙ ගොඩක් විනෝදය පිරුණු ක්ෂේත්‍රවල. අපි එකිනෙකාට උදවු කරගන්න ඕනෙ. ඉතින් අපි දෙන්න හොඳට ගැළපෙනවා. එයාගෙ තාත්තා කියනවා අපි දෙන්න නිකන් “ජාඩියට මූඩිය වගේ” කියලා.

ඔහුගේ ජනප්‍රියත්වය ඔබට බලපාපු විදිය?

එයාට ගොඩක් ලොකු රසික පිරිසක් ඉන්නවා. අපි එකතු වුණාම අපිට ගොඩක් අවස්ථාත් ලැබුණා. ඉතින් අපි දෙන්නටම එකට වැඩ කරන්නත් පුළුවන්. 

ඔහුට ජීවිතයේ මඟහැරුණු දේවල්? 

මම හිතන්නෙ එහෙම මඟහැරුණු දේවල් නැහැ. එයාට මොකක් හරි අරමුණක් තියෙනවා නම් එයා ඒ වෙනුවෙන්ම වැඩ කරනවා. අපේ අතට කිසිම දෙයක් ලේසියෙන් ලැබෙන්නෙ නැහැ. අපි ඒ වෙනුවෙන් ගොඩක් වැඩ කරලා තමයි ඒවා ලබාගත්තෙ. ඉතින් මම හිතන්නෙ එයාට කිසිම දෙයක් මඟහැරුණේ නැහැ. 

දුෂ්‍යන්ත් වගකීම් දරන්න පුළුවන් කෙනෙක්ද? 

ඔව්. එයාට හොඳට වගකීම් දරන්න පුළුවන්. ඒත් එයා පොඩි පොඩි වගකීම් දරන්න ටිකක් අකැමැතියි. මම උයනකොට එයා පිඟන් හෝදන්න වගේ දේවල් කරන්න කැමැති නැහැ. ඉතින් මට ඒවා හෝදන්න කියලා එයා උයනවා. 

ඔහු ජීවිතය ගැන බරපතළ විදියට හිතන කෙනෙක්ද? සාමාන්‍ය විදියට හිතන කෙනෙක්ද? 

එයා ගොඩක් ජීවිතය ගැන තේරුම්ගත්ත කෙනෙක්. බොහොම විනෝදයෙන් ඉන්නවා. හැබැයි ජීවිතය ගැන සීරියස් හිතනවා.

ඔහු වැඩිපුරම ආදරේ කාටද? 

එයාගේ අම්මටයි තාත්තාටයි. 

ඔහු ඔබට දීලා තියෙන වටිනාම තෑග්ග? 

එක පාරක් මගෙ උපන් දිනේට මම හිටියේ ඩුබායිවල. එයා ලංකාවේ හිටියෙ. එයා මම වෙනුවෙන් පාරේ ඉන්න ගෙවල් නැති මිනිස්සුන්ට මම කැමැතිම කෑම බෙදලා වීඩියෝ එකක් කරලා එවලා තිබ්බා. එයාලා හැමෝමත් මට සුබපතලා තිබ්බා. එදා හරියටම රෑ ‍ෙදාළහට තමයි එයා ඒක මට එවලා තිබ්බේ. ඒක හරිම ලස්සනයි. ඒක බලලා මට ගොඩක් ඇඬුණා. ඒක තමයි එයා මට දීපු හොඳම තෑග්ග. 

අද ඔහු ඉන්න තැන ගැන සතුටු වෙනවද? 

ඔව්. ගොඩක් සතුටු වෙනවා. එයා ගොඩක් කැමැතියි මිනිස්සුන්ව සතුටින් තියන්න.

විනෝදාංශ 

ට්‍රැවල් කරන්න ආසයි. සින්දු කියන එකත් විනෝදාංශයක්. අලුත් අලුත් කෑම කන එක, අලුත් අත්දැකීම් ලබන්න කැමැති එක එයාගේ විනෝදාංශ.

මොන වගේ විලාසිතාවලටද කැමැති? 

විශේෂයක් නැහැ. එයාට අඳින්න පහසු තැනට සුදුසු ඇඳුම් අඳිනවා.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

Image result for dushyanth weeraman


Image result for dushyanth weeraman

Image result for dushyanth weeraman


Image result for dushyanth weeraman

 

Make a Comment
Make a Comment

  Related News