ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන්ව සිරිපා කරුණා කරවීමේ මහා පුණ්‍යකර්මය


213 Views

කොට්ටාව සෙන්ට්‍රල් ගෝල්ඩන් සිටි ලියෝ සමාජය සහ හෝමාගම සෙන්ට්‍රල් ලියෝ සමාජය එක්ව සංවිධානය කරනු ලැබූ යුද්ධයෙන් ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන්ව සිරිපා කරුණා කරවීමේ මහා පුණ්‍යකර්මය මාර්තු 09 සෙනසුරාදා දින සිදු කෙරින.

'විරු කරුණා' නමින් ෆේස්බුක් සමාජ ජාලයද් ඔස්සේ බොහෝ අය හඳුනාගත් මෙම සමාජ සද්කාර්‍යයට ශ්‍රී ලංකා යුද්ද හමුදාවේ ආබාධිත සෙබළුන් දස දෙනෙක්ද  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ආබාධිත සෙබලෙක්ද සහභාගී විය. මෙහි විශේශත්වය වුනේ මේ සියළු දෙනාම සුළු වශයෙන් නොව පූර්ණ කාලීන ආබාධයට ලක්වූවන් වීමයි.

ඇවිදින්නට අපහසුවෙන් පෙළෙන සියලුම සෙබළුන්ගේ සනීපාරක්ෂාව, ආහාර පාන මෙන්ම ඔවුන් සිරිපා මළුවට ඔසවාගෙන යාම සඳහාම නිර්මාණය කෙරුණ විශේශ ආසන පවා ඒ සඳහා යොදාගෙන තිබුණි.

මගින් මගට මේ තරුණ තරුණියන් හා එක්ව ගමන් කල බැතිමතුන්ගේ ආශීර්වාදයත්, කිසිදා  ඇවිදින්නට හැකියාවක් නොතිබූ තමන්ට සිරිපතුළ කරුණා කිරීමට හැකිවීමේ සන්තෝසයත් කැටි කරගත් රණවිරු මුහුණු තුළින් අප දුටුවේ කාලාන්තරයකින් නොලැබූ සතුටක් විඳගත් ආකාරයේ පහන් බවකි.

ලියෝ සමාජ ජාලාවේ ව්‍යාප්තිය ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 139ක සිදුවෙමින් පවතින අතර ලෝ පුරා මෙහි සාමාජිකයන් ගණන 145,000කට අධිකය. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන පරිදි A1, A2 සිට C1, C2 දක්වා කාණ්ඩකරණයට ලක්ව පවත්වාගෙන එන මේ යොවුන් සේනාංකයන් විසින් පුද්ගලික ලාභ ප්‍රයෝජන නොතකා කරන සමාජ සත්කාර එමටය.

කොට්ටාව සහ හෝමාගම ලියෝවරුන්ගේ පසුගිය වසර දොලහක කාල පරාසය තුල කරන ලද සමාජ සත්කාර ව්‍යාපෘතීන් 800කට අධිකය. මෙම ව්‍යාපෘතියේ අදහස සහ සංවිධානය කිරීමේ මූලිකත්වය ගෙන කටයුතු කලේ කොට්ටාව සහ හෝමාගම ලියෝ සමාජයන්ගේ තරුණ කැළයි.

කොට්ටාව ලියෝ සමාජය විසින් අතිසාර්ථකව සිදු කල පසුගිය ව්‍යාපෘතීන් කිහිපයක් ලෙස වැදි ජනතාවගේ ජීවන රටාව අළලා කල සේනානිගලට මංගච්චමු, මානසික රෝගීන් සඳහා මානසික රෝහලේ සංවිධානය කල වෙනස්ම ආරේ වැඩසටහන්ද, දුෂ්කර පාසල්වල මූලික අවශ්‍යතා සපුරාළීම ඇතුළු තවත් සිය ගණනින් කල වැඩසටහන්ද හඳුන්වා දිය හැක.

අප ඇසූ ප්‍රෂ්නයකට පිළිතුරු දෙමින් ව්‍යාපෘතියේ සංවිධායක මණ්ඩල සාමාජිකයෙක් අප හා පැවසුවේ "රට ජාතිය වෙනුවෙන් යුද වැදුන අපි අතරින්ම බිහිවුන මිනිස්සු කොටසක් වෙනුවෙන් ඉටුවියයුතු නමුත් මේ වෙද්දි අපේ අතින් පැහැර හැරුණු කළගුණ සැළකීමේ යුතුකම සමාජයට මතක්කරල දෙන්නයි අපි මේක කරන්නෙ. සමාජයට හොඳ දෙයක් බෝ කිරීම සඳහා මේ කළගුණ සැළකීමේ රැල්ල දිගටම ගෙනියන එකයි අපේ අරමුණ."  යනුවෙනි. කෙසේ වෙතත් විරු කරුණා සමාජ සද්කාර්‍යය සෑම වසරකම නොනවත්වා කරගෙන යාමේ ඔවුන්ගේ උත්සාහයට අපේ සුබපැතුම් එක් කරමු.

Make a Comment
Make a Comment