අපි හැම කෙනෙකුටම ජීවිතයේ එක එක සීමාවන් තියෙනවා. මම දැන් හිතන්න ඕනෑ අම්මා කෙනෙක් කියලා


402 Views


"එයා පුදුම තරම් ආදරය කළා.."

"මම ජීවිතයේ කළ ලොකුම මෝඩකම තමයි ඔහුව අතහැරීම.."

සනෝජා බිබිලේ කියන්නෙ රිදී තිරය බැබළවූ සුපිරි තරුවක්. එපමණක් නෙවෙයි ලංකාවේ රූපරාජිනියක්. එවන් සුන්දර කෙනකුගේ ප්‍රේමය ඇයගේ රූපය තරම්ම සුන්දර විය හැකියැයි සිතෙන්නට පුළුවන්. ඇත්තටම කෙනකුගේ පෙනුම සුන්දර වන තරමට ඔහුගේ හෝ ඇගේ ප්‍රේමණීය දිවියත් සුන්දර විය හැකි ද? සනෝජා බිබිලේ ආදරේ ගැන කියන්නේ මෙහෙමයි.

රංගන ශිල්පිනියක ලෙස අද ඔබ සිතන කාරණාවන් මොනවද?
මම මේ දිනවල වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම ටෙලි නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනව. එතනදි මම සනෝජා බිබිලේ කියන නම නෙවෙයි බලන්න ඔනෑ. අපි කරන චරිතය මිනිසුන්ට යමක් දෙන්න හැකි චරිතයක් විය යුතුයි. ඒ නිසා මම ඇරයුමක් ලැබුණම චරිතය ගැන බලනවා. සිනමාවේ කිසිම දේකට මේ දිනවල කතාකළේ නැහැ. මම ටෙලි නාට්‍යයකුත් චිත්‍රපටයතුත් නිෂ්පාදනය කළ නිසා තවත් නිෂ්පාදනයක් කරන්න එදා ඉඳන් ආසාවක් තිබුණා. නමුත් අද ක්‍ෂෙත්‍රයේ පවතින විවිධ ගැටලූ දිහා බලත්දි රජයවත් කිසිම අනුග්‍රහයක් දක්වන්නෙ නැහැ. අද වෙත්දි සියලූම රංගන ශිල්පීන් ගෙවල් වලට වෙලා ඉන්නවා. කිසිම හැකියාවක් නැති අය රංගනයට ඇවිත්. ඒ අය දාලා කරල තියෙන කිසිම තේරුමක් නැති චිත්‍රපට මමත් පහුගිය කාලේ දැක්කා. මේ දේවල් එක්ක සල්ලි ටික තියාගෙන ගෙදරට වෙලා ඉන්නව මිස වෙන කරන්න දෙයක් හිතාගන්නවත් බැහැ.
 
සනෝජා ඔබ රසිකයන්ගෙන් ලබන ආදරය ඔබේ දිවියට මොන තරම් වැදගත්ද?
මම රසිකයන්ගෙ ආදරය නොඅඩුව දිනාගත්ත කෙනෙක්. මම ගොඩක් කළු චරිත වලට පණ පෙවූ කෙනෙක්. නමුත් ලංකාවේ විතරක් නෙවෙයි පිටරටවල ඉන්න අය පවා මට ගොඩාක් ආදරෙයි. ඒකට හේතුව මම රංගන ශිල්පිනියක් විමම නෙවෙයි. මම මිනිසුන්ට ගොඩාක් ආදරය කරන මිනිසුන්ගෙ හදවත්වලට එබී බලපු මිනිසුන්ගෙ හදවත් වලට කතාකළ කෙනෙක්. මම හිතනව නළු නිළියන් විදිහට අපෙන් සිදුවිය යුත්තේ එයයි. අපි ආඩම්බර වෙන්න ඕන නැහැ. අපි ජීවත් වෙන්න ඕන මිනිසුන් අතරයි. එවිට පෙරලා ඔවුන් අපිට ආදරය කරනව. මම කෙනෙක්ගෙ දුකක් දැක්ක විටදි ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙලා කළයුත්ත කරන කෙනෙක්. මට කෙනෙක් වැරැද්දක් කරන්නෙ නැත්නම් මම ඒ කෙනාව ආදරයෙන් වැළඳ ගන්නවා.
 
සිනමාවේදි ඔබ වැඩියෙන්ම රඟපා ඇත්තේ පෙමවතියගේ චරිතයද?
පෙම්වතිය වගේම මට මව” බිරිඳ” ගෘහනිය සමාජ ප්‍රශ්නවලට මුහුණදෙන කාන්තාව යන විවිධ චරිත ලැබිලා තියෙනවා. ඒවාවලින් මම සම්මාන ලබාගෙන තියෙනවා. සුදු අක්කා කියන දැවැන්ත චරිතය රඟපාලා සම්මාන ලබලා තියෙනවා. මම කවදාවත් පෙම්වතියගේ චරිතයට කොටුකරලා නැහැ.
 
හැබෑ දිවියේ පෙම්වතිය වන්නට ඔබ ලද අවස්ථාවන් ගැන මතකය අවධි කරමුද?
මම ඇත්තටම සැබෑ දිවියෙත් පෙම්වතියක් වුණා. අපි ආදරය කරනකොට ඔහු අපිට ගැළපෙන පුද්ගලයාද කියන එක දැනෙනව. නොගැළපෙන කෙනෙක් එක්ක විවාහ වුණොත් අපේ ජීවිතයේ ලොකු ඛෙදවාචකයක් බවට පත්වෙනව. ඒක කෙලවර වෙන්නෙ වෙන්වීමකින්. ඊටත් පස්සෙ මුහුණ දෙන්න වෙන්නෙ අමුතුම සිද්ධි වලට. ඊට වඩා හොඳයි මේ ජීවිතය මම තේරුම් ගත්ත දේ ආදරය කියන්නෙ ඇත්තටම බොරුවක් මවාපෑමක්. ඒ මවාපෑමකට මම සූදානම් නැහැ. දෙන්නෙක් අතර බැඳීමක් ඇතිවෙනවා නම් ඒ බැඳීම දිගටම පවත්වා ගත යුතුුයි. දෙන්නෙක් අතර පොඩි පොඩි හැළහැප්පීම් ඇතිවෙන්න පුලූවන්. ඒ නිසා වෙන්වෙන්නවත් වෙනත් කෙනකුගේ ඇසුර පැතීිම හෝ මුදල් මත්තේ ම හැපීම නෙවෙයිනෙ ආදරය කරනව කියන්නෙ.
 
ඔබ පෙම්කළ ඔබට පෙම්කළ හිත් ගැන ඔබ අද කලකිරීමකින්ද පසුවන්නේ?
මට ජීවිතයේ ගොඩක් ආදරය කරන්න ලැබිලා තියෙන්නෙ ගොළුවො එක්ක. ඒ කියන්නෙ තමන්ට දැනෙන ප්‍රශ්නයක් විවෘතව කතා නොකරන අය මගෙන් මිල මුදල් බලාපොරොත්තු වන අය. එහෙම අය මට එපා. පිරිමියෙක් වුණහම තමන්ගෙ පෙම්වතිය ආරක්ෂා කරගෙන ඇයව රැකබලා ගන්න ඇයව විශ්වාස කරන්න හැකි වෙන්න ඕන. එවන් අය ජීවිතයේ මුණගැහෙන්නෙ කලාතුරකින්.
 
ප්‍රේමයකින් තොර දිවියේ තනිකම පාළුව ඔබට නොදැනෙනවද?
නැහැ. මට ඒ අඩුව අනිවාර්යයෙන්ම දැනෙනෙවා. මම ඊයෙ පෙරේදා අසනීප වෙලා ඉන්දැද්දි මට ඒක දැනුණා. මට තනිනොතනියට මා ගැන සොයා බලන්න කෙනෙක් ඕන නේද කියලා. ඒත් මම ආපහු මතක් කරනව මට ජීවිතයේ පෙම් කළ අය මා ගැන සොයා බැලූවද කියලා. එතන ප්‍රශ්නාර්ථයක් යොදලා හිතල බලත්දි මම තව දුරටත් හිතනව නැහැ මට ආදරයක් අවශ්‍ය නැහැ. මට ශක්තියක් තියෙනව තනිකම දරාගෙන ජීවත් වෙන්න. මගෙ ළඟට වෙලා ඉන්න කෙනෙක් නැතිවුණත් ගීතයක් අහල හරි ඒ තනිකම පාළුව නැතිකර ගන්නවා කියලා. ඇත්තටම මම මගේ ජීවිතය මතුපිටින් සතුටින් ගත කළත් ඇතුළතින් දුකක් දැනෙනව. මට හරියන සහකරුවෙක් ලැබුණෙ නැහැ කියන එක ගැන හිතද්දි.
 
ඔබට ආදරෙයි කියූ හිත් අතර ඔබ පැතූ ආදරය සෙනෙහස එකම හිතකින්වත් දුටුවෙ නැති බවද ඔබ පවසන්නෙ?
නැහැ. මට මුළු හදින්ම ආදරය කළ පෙම්වතෙක් පාසල් අවධියේ මට හිටියා. ඒක ඉතාම සොදුරු කාලයක්. මම ජීවිත කාලයේම ඒ ගැන දුක් වෙනව. මම ඒ ආදරය නැතිකර ගැනීම ගැන හිතමින්. මම උසස්පෙළ පන්තියේදි ආදරය පටන් අරන් කොළඹට එනතුරුම අපි ආදරය කළා. ඒ ආදරය විවාහයක් කරා ගෙන යන්න ඔහු බලාපොරොත්තු වුණා. මම මොනතරම් දඟකාරකම් කළත් ඔහු ඉතාම සුන්දර විදිහට ඒ දේවල්වලින් මාව ගලවා ගත්තා. මාව කවදාවත් අවිශ්වාස කළේ නැහැ. මම ජීවිතයේ කළ ලොකුම මෝඩකම තමයි ඔහුව අතහැරීම.
 
නැවතත් ඔහුව මුණගැහුණොත් එදා වගේ ආදරෙන් ඔහු දිහා බලන්න ඔබ පෙරුම් පුරන හැඩයි?
මම මොනතරම් පෙරුම් පිරුවත් බලාගෙන හිටියත් ඔහු ආයෙ කවදාවත් මට දකින්න අද ඔහු ජීවතුන් අතර නැහැ.
 
ඒ ආදරය දැවටුණ මතකය ආදර හැන්දෑවේ දවටා තබන්න කියා මම යළිත් ඔබෙන් ඉල්ලා සිටිනවා?
මුළු නුවරම අපේ ආදර කතාව දැනගෙන හිටියා. මට රූමත්කම තිබුණා. හැබැයි මම නුවර ප්‍රසිද්ධ වෙලා හිටියෙ ක්‍රීඩිකාවක් විදිහටයි. අපි ලියුම් වලින් තමයි ආදරය කළේ. අපි පාසලෙන් නාට්‍ය බලන්න ගියහම එයත් එනව. අපේ යාලූවො අපිට උදව් කරනව මොහොතකට හරි හමුවෙලා කතා කරන්න. මම ක්‍රීඩාවලට සහභාගි වෙන්න ටීචර් කෙනෙක් එක්ක කොළඹ එත්දි එයාත් එනව අපිත් එක්ක. හැබැයි ටීචර්ට නොදැනෙන්න. එයා පුදුම තරම් ආදරය කළා. මාව ආරක්ෂා කළා.
 
එවන් ආදරයක් ජීවිතයේ කවදාකවත් වෙනත් කෙනකුගෙන් නොලද බවද ඔබ පවසන්නෙ?
මගේ ජීවිතයේ තවත් ආදර සම්බන්ධතා ගොඩ නැගුණා. නමුත් ඒ ආදරය තරම් මට දැනුණෙ නැහැ. මෑත කාලයේ මට තවත් ආදරයක් හම්බවුණා. මම ඔහුට ඇත්තටම ආදරය කළා. ඔහුත් මාත් අතර සම්බන්ධතාව දුරස් වුණේ ඔහුගේ හිතේ තිබුණ කිසිම ප්‍රශ්නයක් ඔහු විවෘතව මාත් එක්ක කතාකළේ නැහැ. ඒ නිහඬ බව තමයි අපිව දුරස් කළේ.
 
 
 ධම්මිකා සුරංජි පතිරණ

Make a Comment
Make a Comment

  Related News