දැන් මම විවාහ වෙලා අවුරුදු දහයක් වෙනවා- දරුවෙකු වෙනුවෙන් වගකීම ඉෂ්ඨ කරන්න තීරණය කරනවා කියලා හිතුවේ


13,731 Views

නිරෝෂාගේ ජීවිතේ අලුත් වෙනසක් වෙන්න යනවා කියලා ආරංචියි...?

ඔව්. මම මවක් වෙන්න සූදානමින් ඉන්නවා. මේ වසරේදී අපේ බලාපොරොත්තුව අපි අතරට එනවා.

දුවෙක්ද, පුතෙක්ද ලැබෙන්න ඉන්නේ කියලා දැනගත්තද..?

දුවෙක්ද පුතෙක්ද අපිට ලැබෙන්න ඉන්නේ කියලා පරීක්ෂා නොකර ඉන්න සැමියයි මමයි දෙන්නම තීරණය කළා.

නිරෝෂා වැඩිපුර කැමැති දුවකුටද? පුතකුටද?

මම කැමැත්තෙන් හිටියේ දුවකුට. සමහර විට ඒ මම ඩාන්සින් කරන නිසා වෙන්නත් ඇති. ඒත් දැන් නම් පුතෙක් වුණත් කමක් නෑ. මමයි සැමියයි දෙන්නම පුතෙක් වුණත් දුවෙක් වුණත් අපි අතරට එනකල් මේ දවස්වල ආදරයෙන් බලාගෙන ඉන්නවා.

නිරෝෂාගේ කැදැල්ලට දරු පැටියෙක් ගේන්න මේ සුදුසුම කාලේ කියලා හිතුවද..?

ඇත්තටම දැන් මම විවාහ වෙලා අවුරුදු දහයක් වෙනවා. අපිට කියලා ස්ථාවරයක් හදාගත්ත දවසක තමයි දරුවකු වෙනුවෙන් වගකීම ඉෂ්ට කරන්න තීරණය කරනවා කියලා හිතුවේ. ඉතිං දැන් ඒ වගකීම ගන්න පුළුවන් හොඳම කාලය කියලා හිතුවා.

දැන් සම්පූර්ණයෙන්ම රංගන කටයුතුවලින් අෑත් වෙලාද..?

දැන් නම් රූගත කිරීම්වලින් ඉවත් වෙලා බොහොම නිදහසේ ඉන්නවා. මම කරමින් හිටපු නාට්‍යවල රූගත කිරීම් ඉවර වුණා. කෝටිපතියෝ නාට්‍යයේ නම් මේ මෑතක් වනතුරු රූගත කිරීම්වලට එකතු වුණා. මේ තත්ත්වයේ ඉන්න අතරෙත් කරන්න නිර්මාණ ලැබුණා. නමුත් දැන් මම චුට්ටක් නිදහසේ ඉන්න ඕනේ කියලා හිතුවා.

නර්තන කණ්ඩායමේ වැඩකටයුතුත් නතර කළාද..?

නැහැ. නර්තන කණ්ඩායමේ වැඩකටයුතු නවත්තලා නැහැ. මම නර්තනයට සම්බන්ධ නොවුණත් නර්තන කණ්ඩායමේ වැඩ කරගෙන යනවා.

කාර්යබහුල ජීවිතයකට කොටුවෙලා හිටපු නිරෝෂාට දැන් ගෙදරට වෙලා ඉන්න පහසුද..?

මම රංගනයට සම්බන්ධ වුණ "කෝටිපතියෝ" ටෙලි නාට්‍ය තාම විකාශනය වෙනවා. වැඩ කරලා කරලා ගෙදරට වෙලා ඉන්නකොට මුල්මාස දෙක තුනේ නම් හරිම පාළුයි. ගෙදරට වෙලා ඉන්න බෑ වගේ දැනුණා. ඒත් දැන් මගේ නර්තන කණ්ඩායමේ අයත් පුහුණුවීම්වලට එන යන නිසා පාළු නැහැ. දැන් මේ විදිහ හුරුවෙලා. දැන් නම් දවස් ඉක්මනින් ගෙවිලා අපේ දුව හරි පුතා හරි අපි ළඟට එනකල් ආසාවෙන් බලාගෙන ඉන්නේ. ඉස්සර නම් මට නටන්නේ නැතිව හිටියොත් ගොඩක් දුකයි. නමුත් දැන් මම හදපු කණ්ඩායමක් ඉන්නවා. ඉතිං ඒක දැකලා මට සතුටුයි.

නිරෝෂා නැති වුණත් නර්තන කණ්ඩායමට වැඩ ජයද..?

යු ඩාන්සර්ස් කණ්ඩායම එළිමහන් ප්‍රසංග වේදිකාවේ නමක් තියාගත්තා. මම නැති වුණත් කණ්ඩායම වැඩ කරනවා. ඒ නිසා මට තැවෙන්න දෙයක් නෑ.

කාර්යබහුල ජීවිතයකට හිරවෙලා හිටපු නිරෝෂාට මේ කාලය නිදහසේ ගත කරන්න පුළුවන් නේද..?

ඇත්තටම කාලයකට පස්සේ තමයි මේ වගේ නිදහසක් ලැබුණේ. රූගත කිරීම්, නර්තන කටයුතු එක්ක ගොඩක් කාර්යබහුල වෙලා හිටියේ. සමහර තැන්වලට යන්න ඕනකම තිබ්බත් යන්න කාලය අඩුයි. ඉතිං දැන් නම් උපරිම නිදහසේ ඉන්නවා. මේ සම්මුඛ සාකච්ඡාව දෙන වෙලාවෙත් මම අනුරාධපුරයේ ඇවිත් ඉන්නේ.

අනුරාධපුරයට ගියේ නිරෝෂාගේ හිතේ තිබ්බ හීනයක් හැබෑ කරගන්න නේද..?

මට ලොකු හීනයක් ආසාවක් තිබ්බා ජය ශ්‍රී මහා බෝධියට බෝධි පූජාවක් කරන්න. වැඩත් එක්ක කාර්යබහුල වෙලා හිටපු නිසා එක දිගට දවස් ගාණක් ඒ වෙනුවෙන් වෙන් කරන්න බැරි වුණා. දැන් ඒ ආසාව ඉෂ්ට කරගත්තා. දැන් ආස තැන්වලට යන්න, හිතේ තිබ්බ දේවල් ඉෂ්ට කරගන්න පසුබිම හැදිලා තියෙනවා. සැමියත් දැන් මම කියන කියන තැන්වලට එක්කගෙන යනවා.

සමහර රංගන ශිල්පිනියන් විවාහය එක්ක, මවු භූමිකාව එක්ක රංගනයෙන් අෑත් වෙනවා. නිරෝෂා විවාහය නිසා රංගනයෙන් ඉවත් වුණේ නැහැ. මවු භූමිකාව නිසා නිරෝෂා රංගනයෙන් ඉවත් වෙන එකක් නැද්ද..?


මගේ සැමියා නම් මට කවදාවත් රංගනයෙන් ඉවත් වෙන්න කියන එකක් නැහැ. මගේ සැමියත් කලාවට ආදරෙයි. එයා තමයි මාව මේ ක්ෂේත්‍රයට යැව්වෙත්. මමත් කලාවට ගොඩක් ආදරෙයි. මම රංගනයෙන් ඉවත් වෙන එකක් නැහැ. නමුත් මම නැවත කොච්චර කාලයකින් රංගනයට එයිද කියලා තීරණය කරලා නැහැ.

නිරෝෂාගේ ජීවිතේ ඉදිරි බලාපොරොත්තු මොනවාද..?

දරු පැටියා අපි අතරට එනකල් තමයි බලාගෙන ඉන්නේ. ඒක තමයි ලොකුම හීනය. ඒ හීනය හැබෑ වුණාට පස්සේ අනෙක් හීන ගැන හිතනවා. මගේ ළඟින් පවුලේ හැමෝම, සැමියා ඉන්නවා. ඉතිං එයාලගේ ආදරය රැකවරණය එක්ක අපේ දරුපැටියා එනකල් බලාගෙන ඉන්නවා.

තිළිණි කෞශල්‍යා
විජේසිංහ

Make a Comment
Make a Comment