නළුවෙක්‌ගෙන් ආදර යෝජනාවක්‌ ඇවිත් නෑ


1,710 Views

වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ ජනප්‍රියම චරිතයක් වන Dilshani Perera පසුගියදා තිරගත වූ උලත් එකයි පිළත් එකයි සිනෙමාපටයෙන් සිනෙමාවට පිවිසියා. මේ දිනවල ඇය ගැමුණු මහරජ ටෙලිනාට්‍යය නිසාත් කතාබහට ලක්වෙනවා. මේ ඇය දිවයින මීවිතට ඇගේ අළුත් තොරතුරු ගැන එක් කල අදහස් කිහිපයක්.

මෙගා වැඩකින් දකින්න ලැබෙනවාද?

කාලෙකට පස්‌සේ වැඩ කිහිපයකට අතගැහැව්වා. මුලින්ම තිරගතවුණේ උලත් එකයි පිලත් එකයි කියන චිත්‍රපටය. ඊට පසුව ගැමුණු මහරජ ටෙලිනාට්‍ය මේ දිනවල විකාශනය වෙනවා. ටීවී එක නාලිකාවෙන් නුදුරේදීම තවත් නාට්‍යයක්‌ විකාශනය වෙන්න තියෙනවා.

ගැමුණු මහරජ කළුමැණිකාට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?

හිතාගන්න බැරි විදිහට ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබෙනවා. කොටින්ම කිව්වොත් මට මේ තරම් ප්‍රේක්‍ෂකයෝ ඉන්නවා කියලා.

ආරාධනා කළේ කවුද?

මට ආරාධනාව කළේ මලින්ද පෙරේරා කියන රංගන ශිල්පියාගෙන්.

අධ්‍යක්‍ෂ චරිත් ඔබව මේ චරිතයට ගන්න බැහැ කිව්වානේද?

එහෙම දෙයක්‌ නම් තිබුණා. මොකද මලින්ද අයියාට හිතුණට චරිත් මං ගැන දන්නේ නැහැ. මේ චරිතය මට කරන්න පුළුවන්වෙයිද බැරිද කියන අදහස ඔහුගේ හිතේ මුලින්ම තියෙන්න ඇති.

දැන් මොකද ඔබේ චරිතය ගැන කියන්නේ ?

ඔහු දැන් ගොඩක්‌ සතුටුයි. හිතුවේ නැති විදිහට මම ඒ චරිතයට සාධාරණයක්‌ ඉටුකරනවා කියලා කියනවා.

චරිතය ඔබට නොලැබේවි කියලා හිතට දුකක්‌ ඇතිවුණා කියන්නෙ ඇත්තද?

ඒක බොරු කතාවක්‌. මම එහෙම හිතුවේ නැහැ. මේ වගේ චරිතයක්‌ කරන්න ආරාධනා ලැබීම ගැන මම පුදුම වුණා.

අංගම්පොර පුරුදුවෙන්න නිළියක්‌ වෙන උදාරි ළඟට ගියා කියන්නේ ඇත්තද?

උදාරි කියන්නේ අංගම්පොර මාස්‌ටර් කෙනෙක්‌ නෙමෙයිනේ, එයාගෙන් ඉගෙනගන්න. මම ඉගෙනගත්තේ වාගීෂ බණ්‌ඩාරගෙන්.

ඇයි මෙගා වැඩකට අතගැසුවේ ?

පොඩි කාලෙත් මෙගා තිබුණා. මේ වගේ මෙගා වැඩකට අතගැසුවා කියන එකේ වැරැද්දක්‌ මම නම් දකින්නේ නැහැ.

මෙගා විරෝධී නිළියක්‌නේද?

මම කැමැති නැහැ මෙගා වැඩවලට. ඒත් මේකේ කතාව අපිට ඉතාම වැදගත්. මෙගා වුණත් නාට්‍ය තුළින් ප්‍රේක්‍ෂකයන්ට යම්කිසි දෙයක්‌ දෙන්න පුළුවන් නම් ඒක කොච්චර දුරට වටිනවාද?. ඒකයි මම මේ වගේ වැඩකට අතගැසුවේ.

ඉතිහාස කතාවක්‌ හින්දා ප්‍රතිපත්ති බින්දාද?

මේ ඉතිහාස කතාව හින්දා ප්‍රතිපත්ති බිඳින්න සිද්ධවුණා.

එතැන ටිකයි මෙතැන ටිකයි ටෙලිනාට්‍යයේ රූගත කිරීම් වලට දායකවෙලා ඉන්නවා කිව්වා?

ටීවී එක නාලිකාවේ තව නොබෝ දිනකින් දැකගන්න පුළුවන් වේවි. ඒ ගැන වැඩි විස්‌තර ඉදිරියට කතා කරමු.

ගැමුණු මහරජ රූගත කිරීම්වලට දායකවෙලා අපූරු සිදුවීම් වුණා කියලත් ආරංචියි?

අංගම්පොර කරන්න ගිහිං හිතුවේ නැති විදිහට වෙන්න ඕනෑ සියල්ලම සිදුවුණා. අන්තිමේ ගෙදර ආවහම අම්මා තමයි ඒවාට බෙහෙත් කළේ.

ඒ වෙලාවේ හිතුණේ නැතිද බැරිවැඩ නොකර හිටියා නම් හොඳයි කියලා ?

එහෙම හිතුණ අවස්‌ථා නැතිවම නෙමෙයි. බොරු කියන්න ඕනෑ නැහැ. හැබැයි මේ සියල්ල දරාගන්න පුළුවන් වුණේ නාට්‍යය විකාශනය වෙනකොට තමයි. මොකද මට අද වෙනකොට හිතෙනවා මීට වඩා දෙයක්‌ කරන්න තිබුණා කියලා.

මේකප් කරන්න ගිහිං අකරතැබ්බයක්‌ වුණා කියන කතාව බොරුවක්‌ද?

මේකප් කරගෙන දවසේම අව්වේ හිටපු හින්දා මගේ සමට හානියක්‌ සිදුවුණා.

මේනකා පීරිස්‌ එක්‌ක කරට කර සටන් කරලා පරාද වුණා කියන්නේ ඇත්තද?

ජයග්‍රහණය කොහොමත් මට තමයි අත්වෙන්නේ. ප්‍රේක්‍ෂකයන්ට ඉදිරියේදී ඒ ගැන බලාගන්න පුළුවන් කාටද ජය කියලා.

කාලෙකින් නිර්මාණයකට දායකවෙන්න ලැබීම ගැන මොකද හිතන්නේ ?

ඇත්තටම සතුටුයි. මිනිස්‌සුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ගැන වචනයෙන් විස්‌තර කරන්න අමාරුයි.

දැන් වෙළෙඳ දැන්වීම් නිරූපණයෙන් ඈත්වෙලාද?

අපොයි නැහැ. ඒක මගේ සුපුරුදු රස්‌සාව.

දිගටම මෙගා වැඩද භාරගන්නේ ?

මම දිගටම මෙගා වැඩ භාරගන්න සූදානම් නැහැ. මම අභියෝග භාරගන්න කැමැති චරිතයක්‌. හොඳ දෙයක්‌ වෙනුවෙන් මෙගාද ඒකාංගිකද කියලා සොයා බලන්නේ නැහැ.

ළඟදීම ජීවිතයේ වෙනසක්‌ වෙන්න යනවා කියන්නේ ?

මොනවගේ වෙනසක්‌ද.

තනිකඩ ජීවිතයට තිත තියනවා කියන කතාව ?

කවුද ඒ කතාව කිව්වේ. තව ඒකට කල් තියෙනවා.

ජනප්‍රිය නළුවෙක්‌ගෙන් ආදර යෝජනාවක්‌ ආවා කියන්නේ ඇත්තද?

ඒවා ඔක්‌කොම බොරු කතා. එහෙම එන්න ඕනෑත් නැහැ. තවම ඒ වගේ යෝජනාවක්‌ ආවෙත් නැහැ.

Make a Comment
Make a Comment

  Related News