මට නවතින්න වුණෙත් මගේ ජීවිතයේ වටිනම දෙයක් නිසානේ


1,364 Views

වේදිකාව ටෙලිනාට්‍ය වගේ ක්ෂේත්‍ර ගණනාවක තම හැකියාව ඉහළින්ම ප්‍රදර්ශනය කල ඈ නමින් Chamila Peris මේ ඇය ඇගේ අළුත් තොරතුරු පුවත්පතකට එක් කල අයුරු.

චමිලා වේදිකාව ඇතුළේ තවමත් කාර්යබහුලද?

වේදිකාවේ වැඩ කීපයක් නිසා මම ටිකක් කාර්යබහුලයි. චරිත හොරු අරන්, ආශාවේ වීදි රිය කියන නාට්‍ය වගේම ජෝඩු ගෙදර ටෙලි නාට්‍යයේ වැඩත් කරනවා.

කාර්යබහුල වේදිකා නාට්‍ය ජීවිතය අතරේ ලැබුණු කැමැතිම චරිතයක් තියෙනවාද?

එහෙම දෙයක් නෑ. මම වේදිකාවෙ නම් කරපු හැම චරිතයකටම කැමැතියි. හයිනා, සඳ ළඟ මරණය, මට එරෙහිව මම, ආශාවේ වීදි රිය, අසම්මතය වගේ නම් කියන්න අමතක වුණත් මම කරපු හැම චරිතයකටම මම ආදරෙයි. එහෙම තෝරා ගන්න අමාරුයි. ඒත් පාසල් කාලේ ඉඳන්ම මම ‘විකෘති’ නාට්‍යයට ආසා කළා. පස්සේ මට ඒකේ චරිතයක් ලැබෙද්දි ඒක නම් මම ගොඩක් ආසාවෙන් කළා.

කැමැතිම චරිතයක් රඟපාපු වේදිකා නාට්‍යයක් නැතිවෙලා ගියොත්?

විකෘති නාට්‍ය මාව තෝරා ගත්තට මට ඒකේ දර්ශන වාර දෙකකට විතරයි ඉන්න වුණේ. ඊට පස්සේ මම ප්‍රෙග්නන්ට් වුණ නිසා මට නතර වෙන්න වුණා. ඒක නම් ටිකක් දුකයි. ඒ වුණාට මට නවතින්න වුණෙත් මගේ ජීවිතයේ වටිනම දෙයක් නිසානේ. හැබැයි ඉතින් මම ඒ චරිතයටත් දරුවකුට වගේම ආදරෙයි.

නාට්‍ය රංගනයේදී සංවේදී ජවනිකාවල ඇත්තටම කඳුළු වැටෙනවලු නේද?

අපි කරන ඕනම චරිතයක් මූඩ් එක අපිට දැනෙන්න ඕන. ඒක ඇත්ත ජීවිතය නොවුණත් ඒ හැඟීම් අපි සැබෑ ජීවිතයේදී අත්දැකලා තියෙනවානේ. අපි චරිතයක් හරහා වෛරය, ක්‍රෝධය, සංවේදී බව ප්‍රතිනිර්මාණය කරද්දී ඒ දේ දැනෙන්න ඕන. මොකද අපි ඒ මොහොත ඒ චරිතයෙ ජීවත් වෙන නිසා.

වේදිකාවේ වැඩ කරන්න පන්නරය ලැබුණේ කාගෙන්ද?

මුලින්ම රඟපෑවේ පාසල් වේදිකාවේ. ඊට පස්සේ මම සෝමලතා සුබසිංහගේ ආයතනයට සම්බන්ධ වුණා. ඒකෙදි මට මුලින්ම ලැබෙන ගහක්, මලක් විදියට චරිත නිරූපණය කරන්න. එතැන ජ්‍යේෂ්ඨ අය දිහා බලලා මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඊට අමතරව මම ධනංජය කරුණාරත්නගේ ‘ඔබ සාපේක්ෂයි’ නාට්‍යයේදී හොඳම නිළියට සම්මානයක් ගත්තා. එතැනින් තමයි මම රංගන ශිල්පිනියක් වීම ස්ථීර වෙන්නේ.

ජනක කුඹුකගේ එක්ක රඟපාපු ශෝධක ෂෝට් ෆිල්ම් එක චමිලගේ රංගන ජීවිතයේ ලොකු අභියෝගයක් නේද?

ඔව්. මේක ටිකක් වෙනස් විදියේ ෂෝට් film එකක්. රුවන් නරසිංහගේ මේ නිර්මාණය විනාඩි 14ක ෂෝට් ෆිල්ම් එකක්. මේ කතාවම කරන්නේ කැමරාවේ එක ෂොට් එකකින්. සති දෙක තුනක් රියසල් කළා. ඒක ඇතුළේ ලොකු කතාවක් තියෙනවා. ජනකයි මමයි හරිම හිතවත්. අනෙක් මේ නිර්මාණය පර්යේෂණ මට්ටමෙන් කරපු ෂෝට් ෆිල්ම් එකක්. අදටත් මේ ෂෝට් ෆිල්ම් එක You Tube එකේ ගොඩක් අය බලනවා. චිත්‍රපටය මට ඒ තරම්ම රසවත් නැහැ. මම කැමැති වේදිකාවට.

ඒ වගේ අභියෝගාත්මක චරිතයක් කළේ සිනමාවට පය තියන්න හිතාගෙනද?

එහෙම බලාපොරොත්තුවක් නම් තිබුණේ නැහැ. ඒ රංගනයට කලින් මට සිනමාවට ආරාධනා ලැබුණා. ඒත් මම සිනමාවට ලොකු කැමැත්තක් නැහැ. මට හොඳ නිර්මාණ ලැබුණා. ඒ චිත්‍රපට තේරුම් ගන්න තරම් දියුණු ප්‍රෙක්ෂකයන් පිරිසක් නැති නිසා මම ඒ වෙනුවෙන් කාලයක් දෙන්න කැමැති නැහැ.

ලංකාවේ රංගන ශිල්පිනියන් එක තැනකට කොටු වෙලාද? කොටු කරලද?

අපිට රඟපාන්න තියෙන්නේ පොඩි පරිසරයක්. සල්ලි ගෙවාගන්නත් අමාරු කර්මාන්තයක්. පොඩි පිරිසක් තමයි නිර්මාණවල ඉන්නේ. මේ අතරින් දක්ෂයොත් ඉන්නෙ අතළොස්සක්. කතා තේමාවන් ඒකාකාරී අධ්‍යක්ෂවරුන් කිහිපදෙනෙක් ඉන්න නිසා අපි ඉබේම ඒවාට කොටු වෙලා. තෝරා ගන්න තරම් ලොකු කර්මාන්තයක් අපිට නැහැ.

මේ දිනවල චමිලාව අපිට දකින්න ලැබෙන්නේ ටෙලිනාට්‍ය ගැන කිව්වොත්?

ජෝඩු ගෙදර, ටී-20, අඳුරු සෙවණැලි, අරුමක්කාරි ටෙලි නාට්‍ය 5ක් විතර මේ දවස්වල විකාශය වෙනවා.

රංගන ශිල්පිනියක් විදියට මේ ආපු ගමන ගැන ඔබ තෘප්තිමත්ද?

ඔව්. විවිධ චරිතවලට රංගනයේ යෙදෙන්න ලැබීම වගේ වාසනාවක් රංගන ශිල්පිනියක් වීම ගැන තෘප්තිමත්. ඒ අත්දැකීම වෙනස්. වෙන රැකියාවක් වගේ නෙවෙයි. විවිධ අයත් එක්ක විවිධ තේමාවලට වැඩ කරන්න ලැබීමෙන් අපි රසවින්දනයක් ලබනවා.

ඒ වගේ ෂෝට් ෆිල්ම් එකක් කළාට පස්සේ ක්‍ෂේත්‍රය ප්‍රශ්න ආවෙ නැද්ද?

නැහැ. ඒක බලලා ගොඩක් දෙනාමට හොඳයි කිව්වා. ඒකෙ පොඩි scene එකයි තිබුණේ. ඒත් act එක බලලා මාව වැඩවලට ගත්ත අයත් ඉන්නවා.

Make a Comment
Make a Comment